Saturday, May 26, 2012

අමුර්තෙන් උපන් රසකිඳ....

මෙරට විසූ දක්ෂ වෛද්‍යවරයකු ලෙස සැලකෙන රාවණ රජු විසින් රාමපතිනි සීතාව පැහැරගත් අවස්ථාවේ ඇය බේරා ගැනීමට රාම කුමරු සමග හනුමාන් ප්‍රමුඛ වානර සේනාවක් පැමිණි අතර එම සටනින් රාම පාර්ශවය ජය ලබා ගත්තා.එහිදී මියගිය වානර සේනාවට ශක්‍ර දෙවියන් විසින් අමෘතය ඉස නැවත ජීවය ලබා දුන් බවත් ,ඔවුන්ගේ සිරුරෙන් බිම වැටුනු අමෘතයෙන් "අමෘතා"පර්යාය දරන රසකිඳ නිපන් බවත් ජනප්‍රවාදයෙහි සඳහන්.

උද්භිද විද්‍යාත්මකව Tinospora cordifolia නමින් හා දෙමළ බසින් "සින්දී" නමින් හඳුන්වන බහු වාර්ෂික ආරෝහකයක් වන මෙය වියළි කලාපයේ සුලබව දැකිය හැකි ලතාවක්. කටු තික්ත කෂාය රස දරන මෙහි සුලබව භාවිතයට ගන්නේ කඳ කොටසයි. "රසායන" එනම් වයස්ගත වීම ප්‍රමාද කරවා ආයු,වර්ණ බල වර්ධනය කිරීමේ හැකියාව රසකිඳ ශාකය සතුයි.කුසගින්න වඩවාලීමේ හැකියාවත්,ශරීර බලය වඩවාලීමේ හැකියාවත් සහිතයි.දේශීය සහ ආයුර්වේද වෙදකමෙහි මධුමේහ,පාණ්ඩු,ජ්වර,කුෂ්ට,දාහ රෝග සඳහා යොදන කෂාය වට්ටෝරුවල රසකිඳ නිතර හමුවෙනවා .

එහි අඩංගු ඇල්කොලොයිඩ සහ ග්ලූකොසයිඩ වල රුධිරගත ග්ලූකෝස් සහ යූරියා මට්ටම අඩු කිරීමේ හැකියාවත්,ආමවාත රෝගයේදී සන්ධි ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහාත්මක ඉදිමුම් නැතිකිරීමේ හැකියාවත්,අක්මාසෛල වල තන්තුමතාවය (Hepatic fibrosis) නැති කිරීමේ හැකියාවත් සහිත බව පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා.

මනබඳනා මදුරුතලා වග...

කඩිනමින් ව්‍යාප්ත වන   Ocimum sanctum  යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මදුරුතලා ශාකයේ පත්‍ර වියළා ගිනි අඟුරු මත ඉසීමෙන් වන දුම  මදුරුවන් පලවා හැරීමේ හැකියාව සහිතය.හින්දු භක්තිකයන් දේවත්වයෙහි ලා සලකන සෙන්ටිමීටර පනහක පමණ උසින් යුතු මෙම ක්ෂූපය හනුමාන් භක්තිකයන්ගේ විශේෂ පුදසත්කාර ලබන්නකි.


ශ්‍රී ලංකාවේ මදුරුතලා ප්‍රභේද කිහිපයක් හමුවේ.එනම් හීන් මදුරුතලා, මහ මදුරුතලා, කළු මදුරුතලා, ගස් තලා යනුවෙනි.රසායන ගුණය එනම් නිරෝගී දීර්ඝ ජීවනය ලබාදීමේ හැකියාව මෙම ශාඛය සතු බව  ආයුර්වේද මූලග්‍රන්ථයන්හි සඳහන්ය.

වියළි කලාපයේ බහුලව වැවෙන අතර ඖෂධ සඳහා සම්පූර්ණ ශාකයම යොදා ගනියි. මදුරුතලා කොළ ස්නායු ශක්තිමත් කරයි.මානසික ආතතිය දුරලයි. කාස ශ්වාස අවස්ථා වලදී සහනය සලසයි.කුසගින්න වඩවයි.  සමේ සිසිල් බව ඇති කරන අතර ආයුර්වේදීය රූපලාවන්‍ය ප්‍රතිකර්ම වලදී සමට ප්‍රශස්ත පිරිසිදුකාරකයක් (cleanser)ලෙස මදුරුතලා කොළ යුෂ යොදා ගැනේ.

ප්‍රතිශ්‍යාව මුල් අවස්ථාවේදී මදුරුතලා කොළ තම්බා උගුර සේදීමෙන් සහනයක් ලබා ගත හැකිය.පරණ වූ ප්‍රතිශ්‍යාවේදී මදුරුතලා,ගම්මිරිස් සහ කරාබු නැටි තම්බා බීමෙන් සුව සහනය ඇති වේ.මුඛ දුර්ගන්ධය ,විදුරුමසින් ලේ ගැලීම සහ මුඛයේ ඇතිවන කුඩා තුවාල (aphthous ulcer) සඳහා මදුරුතලා ප්‍රශස්ත ඔසුවක් වේ.