Friday, November 23, 2012

ඔබත් "හරිත තේ" රසවතෙක්ද?

                        

       
    හැඩැති මනබඳනා සිහින් සිරුරක් කියන්නෙ නිරෝගී බවේ සහ සොඳුරු බවේ සංකේතයක්.සිරුරේ තරබාරු බව ඔබට අවලස්සනක් වගේම ඔබ රෝගියෙක් බවට පත්කරන්නත් පසුබිම සකසා දෙනවා.ශාරීරික ව්‍යායාම සහ ආහාර පාලනය ගැන වැඩි දෙනෙක් අවධානය යොමු කර තිබෙන්නේ මේ නිසාමයි.ඒත් ශාරීරික ව්‍යායාම වෙනුවෙන් දවසේ විශේෂ කාලය වෙන්කිරීම ඇතැම් විට ඔබට ගැටළුවක් විය හැකියි.ඒ වගේමයි ආහාර පාලනය පිළිබඳවත් බොහෝ දෙනා තුල තිබෙන්නේ අවම මට්ටමේ අවබෝධයක්.බොහොමයක් දෙනා සිතන්නේ ආහාර පාලනය කිරීම යනු ආහාර වර්ජනය කිරීම බවයි.අධික තරබාරුවේ සහ ආහාර පරිභෝජන රටාවේ විෂමතාවයන්ගේ ප්‍රථිපල ලෙස හෘද රෝග , මධුමේහය වැනි බෝ නොවන රෝග ලෝකය පුරා බරපතල සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වී තිබෙන්නේත් මේ  නිසාමයි.







          චීනය සහ ජපානය වැනි ආසියානු කලාපයට සුවිශේෂී  භෝජන කලාවක් තිබෙන බව අපි හැම කෙනෙක්ම දන්නා කරුණක්. හුරුබුහුටි හා කඩිසරබවින් අගතැන්පත් බව පිළිබඳ කතා කරද්දී අපට නිතැතින්ම සිහිවෙන්නේ ජපනුන්.ජපානයේ තේ පානෝත්සව ගැන අසා නැති කෙනෙක් නැති තරම්.
                          
                                   
සියවස් ගණනාවක සිට තේ යනු අපටද ආගන්තුක පානයක් නොවෙයි.සියළු ආකාර පුද්ගල තරාතිරම් අතර තේ නිල නොලත් ජාතික පානය බවට පත් වී ඇති බවත් නොරහසක්.
                           
                  
 හරිත තේ  "Green Tea " යනු Camellia sinesis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තේ ශාකයේ ලපටි දළු කොටස් අවම ඔක්සිකරණ ක්‍රියාවලියකට ලක් කිරීමෙන් සකසා ගන්නා ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක්ද ලබාදෙන නිෂ්පාදනයක්.චීනයේ වසර හාරදහසකට පමණ පෙර සොයාගන්නට ඇතැයි විශ්වාස කෙරෙන හරිත තේ උත්තේජක පානයක් ලෙස ලොව පුරා අති මහත් කීර්තියක් අත් කරගෙන තිබෙන්නේ එහි අන්තර්ගත උත්තේජක ගුණය නිසාම පමණක් නොවේ. 

එහි අන්තර්ගත රසායනික පිළිබඳ සලකා බැලීමේදී පොලිෆීනෝල් (polyphenol) නම් ප්‍රති ඔක්සිකාරකය සුවිශේෂී වේ.ලොවපුරා අද වනවිට ප්‍රති ඔක්සිකාරක (antioxident) ගුණය පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහට ලක්වී තිබෙනවා. සිරුරේ සෛල තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිපලයක් ලෙස නිපදවෙන මුක්ත ඛණ්ඩක (free radicals) මඟින් සෛල වයස්ගත වීම ඉක්මන් කරවන අතර පෙර කී ප්‍රතිඔක්සිකාරක එම මුක්ත ඛණ්ඩක මඟින් හානි ඇතීවීමේ ක්‍රියාවලියට බාධාකරවා සෛල සහ සමස්ත දේහය වයස්ගතවීමේ වේගය අවම කර දිගුකාලයක් තරුණ ජවය සහ රුව සහිතව ජීවත් වන මග සලසා දෙයි.එනිසාවෙන්ම ලොව පුරා රූපලාවන්‍ය හා සම්බන්ධ සියලුම වෛද්‍ය සහ සමගාමී කණ්ඩායම්වල අවධානය වැඩි වැඩියෙන් හරිත තේ වෙත යොමු වී තිබීම අරුමයක් නොවේ.

  එපමණකුදු නොව එහි අඩංගු කැතචින්ස් (catechins) නම් විශේෂ ප්‍රතිඔක්සිකාරකය මඟින් ප්‍රදාහිත තත්වයන්ගෙන් සිරුර ආරක්ෂාකර දීමත්,පිළිකා මැඩලීමේ හැකියාව ලබාදීමත් ,රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමේ හැකියාවත් ලබා දෙන බව ජපානයේ සිදුකල පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙනවා.තවද හරිත තේ මගින් ආහාර කෙරෙහි වූ අධිකතර රුචිය පාලනය කරන අතර මෙකී සියළු සාධක සලකා බැලීමෙන් අධික තරබාරුව සහ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහලයාමෙන් පීඩාවට පත්ව සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට සැනසුම් සුසුම් හෙලන්නට අවස්ථාවක් උදා වී තිබෙනවා.

  පෙර සඳහන් කළ කැතචින්ස් ,ෆ්ලෙවනොයිඩ්(Flevanoid) සහ ECGC යන රසායනිකයන්ගේ ක්‍රියාකාරිත්වය මගින් සිරුරේ තැන්පත්මේදයන් දහනය කිරීම උත්තේජනය කරන අතර ම රුධිරගත අහිතකර මේද (LDL -Low Density Lipoproteins ) මට්ටම පහත හෙලයි.එය සිරුරේ තරබාරු බව මෙන්ම හෘද් කිරීටක ධමනි අවහිරතා ඇති වීමේ අවධානමද අවම මට්ටමකට ගෙන එනවා.
               
එසේම සීනි නොමැතිව හරිත තේ පානයෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම ක්‍රමවත්ව නියාමනය කර දෙන බැවින් මධුමේහ අවධානම ද අවම කිරීමට උපකාරී වේ.ඊට අමතරව අභ්‍යන්තර රුධිර වහන ඇතිවීමේ අවධානම අවම කිරීම, තුවාල සුවවීම ඉක්මන් වීම,ඇස් වල නිරෝගී බව ලබා දීම,මුත්‍රවාහිනී පද්ධතියේ සහ මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම,යන ප්‍රතිලාභ ද ප්‍රබෝධ පානයක මිහිර අත්විඳීමට අමතරව හරිත තේ මඟින් ඔබට හිමි වෙනවා.

කෙසේ වුවත් දිනකට කෝප්ප පහක උපරිම මාත්‍රාවකට යටත්ව හරිත තේ පානය කළ යුතු බව සිහි තබා ගත යුතුයි. අධි මාත්‍රාවෙන් භාවිතයෙන් අක්මාවේ ක්‍රියාකාරිත්වයට බලපැම් ඇතිකිරීමට හැකි බැවිනි.එසේම තදබල වකුගඩු සහ හෘද රෝග වලින් පෙලෙන්නන්ද,ගැබිණි සහ කිරිදෙන මව් වරුන්ද,අක්මා රෝග සහ මධුමේහ රෝගීන් ද , ආමාශයික ක්ෂත (තුවාල ) සහිත පුදගලයින්ද,ප්‍රතිජීවක,ප්‍රතිරුධිරකැටිකාරක සහ උපත්පාලන ඔසු භාවිත කරන අය විසින් තමාට සුදුසු මාත්‍රාව වෛද්‍ය නිර්දේශ අනුව පමණක් තීරණය කළ යුතු වෙනවා.

 කෙසේවතුදු අධික තරබාරුවට ලක්ව ආහාර පාලනය සහ නොකඩවා කායික ව්‍යායාමයන්හි යෙදීම ගැටළුවක් කරගත් ඔබට මෙන්ම නිරෝගී ප්‍රබෝධමත් දිවිපෙවෙතක් අපේක්ෂා කරන ඕනැම අයෙකුට හරිත තේ සැනසුම් පවනක් විය හැකි බවට තවත් අටුවා ටීකා අවශ්‍යද?