Wednesday, June 24, 2015

නහර ගැටගැසීමේ පීඩාවෙන් නිසැක සුවය ලබා දෙන ආයුර්වේද ජලෞකා (කූඩලු ) ප්‍රතිකාරය


      සුවදායී දිවි පැවැත්මක් උදෙසා කැපවී ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි හමුවන සුවිශේෂී ප්‍රතිකර්ම පද්ධතියක් ලෙස පංචකර්ම චිකිත්සාව හඳුනා ගත හැකිය.ඒ අතරින් රක්ත මෝක්ෂණ චිකිත්සාව වර්තමානයේ සුලභව භාවිතා නොවන, එහෙත් බොහෝ රෝග අවස්ථා සඳහා වඩා පලදායී ලෙස යොදා ගත හැකි ප්‍රතිකාර ක්‍රමයක් වේ.


 සිරුරේ ඇතිවෙන රෝගවලින් කොටසක් රුධිරයේ ඇති දූෂිත බව නිසා ඇති විය හැකි බව ආයුර්වේද මතයයි. අප ගන්නා ආහාර වලින් ලැබෙන පෝෂණීය කොටස් මෙන්ම අහිතකර පදාර්ථ ද රුධිරයට එක්වී  විවිධ රෝග තත්ව ඇති කිරීමට හේතු වේ. එබඳු රෝග සඳහා මෙන්ම  රුධිරය පරිවහනය කරන ශිරා ආශ්‍රිතව ඇතිවන ශිරා ග්‍රන්ථි (නහර ගැට ගැසීම් ) වැනි අවස්ථා වලදී මෙම රක්තමෝක්ෂණ ප්‍රතිකාරය මගින් සාර්ථක ප්‍රතිපල උදාකරගත හැකි වේ.

        "රක්තමෝක්ෂණ" යන්න "රක්ත" සහ "මෝක්ෂණ" එනම් රක්තය මුදා හැරීම යන අරුත් ගැන්වේ.  එය පලදායී රුධිරය පිරිසිදු කිරීමේ ක්‍රමයක් වන අතර කුඩා ප්‍රමාණයන්ගෙන් අපිරිසිදු රුධිරය සිරුරෙන් ඉවත්කිරීම සඳහා ක්‍රම කිහිපයක් ආයුර්වේදයේ හඳුන්වා දී ඇත.දූෂිත පිත් දෝෂය නිසා ඇතිවන රුධිරය ආශ්‍රිත රෝග අවස්ථාවන් සඳහා  මෙම ප්‍රතිකාර ක්‍රමය වඩා සුදුසු වේ.  ඒ අතර, චර්ම රෝග, විවිධ ඉදිමුම් තත්ව, සුව නොවන තුවාල,  නහර ගැට ගැසීම්, විවිධ ආසාත්මිකතා  ආදී සම ආශ්‍රිතව දැක ගත හැකි රෝග අවස්ථා ප්‍රමුඛ වේ. මීට අමතර්‍රව, අර්ශස්, අක්ෂි රෝග, බරවා, දීර්‍රඝ කාලීනව සුව නොවන හිසරදය, දන්ත රෝග සඳහා ද  රක්ත මෝක්ෂණ යෙදිය හැකි වේ.

 රක්ත මෝක්ෂණ ප්‍රධාන ආකාර දෙකකි.  ලෝහමය තියුණු දැති සහිත උපකරණ භාවිතයෙන් සහ කූඩැල්ලන්, විශේෂයෙන් සකස් කළ හරක් අං සහ ලබු කටු යොදා ගනිමින් සිදු කරන රුධිරය ඉවත්කිරීමේ ක්‍රම වශයෙනි.


  
       ආයුර්වේද මූලග්‍රන්ථ සහ ප්‍රායෝගික අත්දැකීම් අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය  රෝග සුව කිරීම මෙන්ම රෝග වලකා ගැනීම යන අවස්ථා දෙක උදෙසාම යොදා ගත හැකි වේ.  

කූඩැල්ලන් (ජලෞකා ) මඟින් සිදු කරන රක්ත මෝක්ෂණයේදී මෙම රුධිරය පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය සඳහා ලොව පුරා විසිරී සිටින කූඩළු ප්‍රභේද හයසියයකට ආසන්න ප්‍රමාණයක් අතරින් ජලයේ ජීවත්වන hirudo medicinalis කූඩලු විශේෂයන් කිහිපයක් පමණක්  යොදා ගැනේ.





     මෙම ප්‍රතිකාරය වේදනාවකින් තොර, ආරක්ෂිත සහ එදිනෙදා කටයුතු සමඟ වුවද පහසුවෙන් සිදුකරගත හැකි ප්‍රතිකාරයක් වේ. මෙහිදී සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සුදුසු කූඩළු ප්‍රභේදය බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව කූඩැල්ලා විෂහරණ ක්‍රීයාවලියකට ලක් කර ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරේ. 

     කූඩැල්ලා රුධිරය උරාබීම අවසන් වූ පසු ඖෂධීය ද්‍රව්‍ය චූර්ණයක් යොදා  කූඩැල්ලා විසින් උරාබොන ලද දූෂිත රුධිරය කූඩැල්ලාගේ සිරුරෙන් ඉවත් කිරීම සිදු කරයි.අනතුරුව රෝගියාගේ කූඩැල්ලා රුධිරය උරාබිව් ස්ථානය පිරිසිදුකර ඖෂධ ආලේපනයක් හෝ සුදුසු  ඖෂධීය තෙලක් ගැල්වීම සිදු කරනු ලැබේ.එක් වරකට කූඩැල්ලකුට රුධිරය මිලිලීටර 10ත් 60ත් අතර ප්‍රමාණයක් උරා බීම සිදු කරන අතර එම කාර්යය සඳහා මිනිත්තු 20ත් 60ත් අතර කාලයක් ගත වේ.

 සතියකට වරක් බැගින් වාර හතක්, දාහතරක් හෝ විසි එකක් මෙම ප්‍රතිකාරය සිදු කිරීම සුදුසු වේ.

කූඩළු ප්‍රතිකාරයේ විශේෂත්වය

-කූඩැල්ලා විසින් ඔබේ සිරුරේ ඇති අපිරිසිදු / දූෂිත රුධිරය උරා බී ඉවත් කිරීම.

- රුධිර පරිවහනයට බාධා පවතී නම් (නහර ගැට ගැසීම් වැනි අවස්ථා  වලදී )එය ක්‍රමවත් වීම.

-  දූෂිත රුධිරය නිසා හටගත් සමෙහි ඇති කැසීම්, කළු පැහැ වීම්, මස් පිඬු ආශ්‍රිත වේදනා, හිරිය සමනය වීම.

- රුධිර සැපයුමේ ඇති දුර්වලතා නිසා සුවවීමට ප්‍රමාද තුවාල සුව වීම ඉක්මන් කිරීම.

-සන්ධිගත රෝග අවථාවලදී ඇතිවන ඉදිමුම්, වේදනා, දාහ ආදිය සමනය වීමට උපකාරී වීම.

- පොතු කබර වැනි චර්ම රෝග වලදී අභ්‍යන්තර ප්‍රතිකාර සමඟ රක්ත මෝක්ෂණය යෙදීමෙන් ඉක්මන් සුවය ලබාගත හැකි වීම.


රක්ත මෝක්ෂණය සිදු නොකළ යුතු අවස්ථා:

  • රක්තහීනතාවය
  • සමස්ත සිරුරේම පවතින ශෝථ (ඉදිමුම්) තත්ව
  • ගර්භනීභාවය 
  • රුධිරය කැටිගැසීමේ දුර්වලතා සහිත රෝගීන්
  • හෘද රෝගීන්
  • දියවැඩියා රෝගීන්
  • අධිරුධිරපීඩනයෙන් පෙලෙන රෝගීන්

ප්‍රතිකාර සඳහා යොදා ගන්න කූඩැල්ලා ආරක්ෂා කර ගැනීම


  •   සෙල්සියස් අංශක 15 -20ත් අතර්‍ර උෂ්ණත්වයක,හොඳින් වාතනය සහිත සිසිල් පාරදෘශ්‍ය ජල බඳුනක කූඩැල්ලා රඳවා තැබීම සිදු කළ යුතු අතර එය සූර්යාලෝකයට කෙලින්ම නිරාවරණය වන ස්ථානයක් නොවිය යුතුය.
  • බඳුන සඳහා පිරිසිදු, පැහැදිළි, රසායනික ද්‍රව්‍ය නොයෙදූ භූගත ජලය යොදා ගැනීම වඩා සුදුසු වේ.
  • බඳුනේ ජලය අළුත් කිරීමේදී එහි උෂ්නත්වය පිළිබඳ සැලකිලිමත්වීම අත්‍යාවශ්‍ය වේ.
  • ජලය මිලිලීටර 250ක් ප්‍රමාණයක් රැඳවිය හැකි බඳුනක කූඩැල්ලන් දෙදෙනකුගේ උපරිමයකට යටත් වන සේ  ඉඩකඩ සපයා දිය යුතු අතර එම බඳුනට ඇල්ගී, හෝ ජලජ ශාක කිහිපයක් එක්කර තැබීම වඩා සුදුසු වේ.
  • බඳුනේ පියන සිදුරුකර හෝ පියන වෙනුවට දැල් ආවරණයක් සකසා ගැනීමෙන් වාතනය සහ කූඩැල්ලා බැහැරට නොයා රඳවා ගැනීම යන කරුණු දෙකම ඉටු කරගත හැකි වේ.

වර්තමානයවනවිට ක්‍රමයෙන් ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමවේදයක් බවට පත්වෙමින් පවතින  මෙම ජලෞකා චිකිත්සාව තුලින් මහඟු ප්‍රතිපල ලබා ගැනීමට සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකගේ මගපෙන්වීම යටතේ ඔබටත් අවස්ථාව උදා කරගත හැකිය.







Friday, November 23, 2012

ඔබත් "හරිත තේ" රසවතෙක්ද?

                        

       
    හැඩැති මනබඳනා සිහින් සිරුරක් කියන්නෙ නිරෝගී බවේ සහ සොඳුරු බවේ සංකේතයක්.සිරුරේ තරබාරු බව ඔබට අවලස්සනක් වගේම ඔබ රෝගියෙක් බවට පත්කරන්නත් පසුබිම සකසා දෙනවා.ශාරීරික ව්‍යායාම සහ ආහාර පාලනය ගැන වැඩි දෙනෙක් අවධානය යොමු කර තිබෙන්නේ මේ නිසාමයි.ඒත් ශාරීරික ව්‍යායාම වෙනුවෙන් දවසේ විශේෂ කාලය වෙන්කිරීම ඇතැම් විට ඔබට ගැටළුවක් විය හැකියි.ඒ වගේමයි ආහාර පාලනය පිළිබඳවත් බොහෝ දෙනා තුල තිබෙන්නේ අවම මට්ටමේ අවබෝධයක්.බොහොමයක් දෙනා සිතන්නේ ආහාර පාලනය කිරීම යනු ආහාර වර්ජනය කිරීම බවයි.අධික තරබාරුවේ සහ ආහාර පරිභෝජන රටාවේ විෂමතාවයන්ගේ ප්‍රථිපල ලෙස හෘද රෝග , මධුමේහය වැනි බෝ නොවන රෝග ලෝකය පුරා බරපතල සෞඛ්‍ය අර්බුදයක් බවට පත්වී තිබෙන්නේත් මේ  නිසාමයි.







          චීනය සහ ජපානය වැනි ආසියානු කලාපයට සුවිශේෂී  භෝජන කලාවක් තිබෙන බව අපි හැම කෙනෙක්ම දන්නා කරුණක්. හුරුබුහුටි හා කඩිසරබවින් අගතැන්පත් බව පිළිබඳ කතා කරද්දී අපට නිතැතින්ම සිහිවෙන්නේ ජපනුන්.ජපානයේ තේ පානෝත්සව ගැන අසා නැති කෙනෙක් නැති තරම්.
                          
                                   
සියවස් ගණනාවක සිට තේ යනු අපටද ආගන්තුක පානයක් නොවෙයි.සියළු ආකාර පුද්ගල තරාතිරම් අතර තේ නිල නොලත් ජාතික පානය බවට පත් වී ඇති බවත් නොරහසක්.
                           
                  
 හරිත තේ  "Green Tea " යනු Camellia sinesis යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන තේ ශාකයේ ලපටි දළු කොටස් අවම ඔක්සිකරණ ක්‍රියාවලියකට ලක් කිරීමෙන් සකසා ගන්නා ආර්ථික වශයෙන් වැඩි වටිනාකමක්ද ලබාදෙන නිෂ්පාදනයක්.චීනයේ වසර හාරදහසකට පමණ පෙර සොයාගන්නට ඇතැයි විශ්වාස කෙරෙන හරිත තේ උත්තේජක පානයක් ලෙස ලොව පුරා අති මහත් කීර්තියක් අත් කරගෙන තිබෙන්නේ එහි අන්තර්ගත උත්තේජක ගුණය නිසාම පමණක් නොවේ. 

එහි අන්තර්ගත රසායනික පිළිබඳ සලකා බැලීමේදී පොලිෆීනෝල් (polyphenol) නම් ප්‍රති ඔක්සිකාරකය සුවිශේෂී වේ.ලොවපුරා අද වනවිට ප්‍රති ඔක්සිකාරක (antioxident) ගුණය පිළිබඳව වැඩි වැඩියෙන් කතාබහට ලක්වී තිබෙනවා. සිරුරේ සෛල තුල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවල ප්‍රතිපලයක් ලෙස නිපදවෙන මුක්ත ඛණ්ඩක (free radicals) මඟින් සෛල වයස්ගත වීම ඉක්මන් කරවන අතර පෙර කී ප්‍රතිඔක්සිකාරක එම මුක්ත ඛණ්ඩක මඟින් හානි ඇතීවීමේ ක්‍රියාවලියට බාධාකරවා සෛල සහ සමස්ත දේහය වයස්ගතවීමේ වේගය අවම කර දිගුකාලයක් තරුණ ජවය සහ රුව සහිතව ජීවත් වන මග සලසා දෙයි.එනිසාවෙන්ම ලොව පුරා රූපලාවන්‍ය හා සම්බන්ධ සියලුම වෛද්‍ය සහ සමගාමී කණ්ඩායම්වල අවධානය වැඩි වැඩියෙන් හරිත තේ වෙත යොමු වී තිබීම අරුමයක් නොවේ.

  එපමණකුදු නොව එහි අඩංගු කැතචින්ස් (catechins) නම් විශේෂ ප්‍රතිඔක්සිකාරකය මඟින් ප්‍රදාහිත තත්වයන්ගෙන් සිරුර ආරක්ෂාකර දීමත්,පිළිකා මැඩලීමේ හැකියාව ලබාදීමත් ,රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම පහත හෙලීමේ හැකියාවත් ලබා දෙන බව ජපානයේ සිදුකල පර්යේෂණ මඟින් තහවුරු කර තිබෙනවා.තවද හරිත තේ මගින් ආහාර කෙරෙහි වූ අධිකතර රුචිය පාලනය කරන අතර මෙකී සියළු සාධක සලකා බැලීමෙන් අධික තරබාරුව සහ රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහලයාමෙන් පීඩාවට පත්ව සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට සැනසුම් සුසුම් හෙලන්නට අවස්ථාවක් උදා වී තිබෙනවා.

  පෙර සඳහන් කළ කැතචින්ස් ,ෆ්ලෙවනොයිඩ්(Flevanoid) සහ ECGC යන රසායනිකයන්ගේ ක්‍රියාකාරිත්වය මගින් සිරුරේ තැන්පත්මේදයන් දහනය කිරීම උත්තේජනය කරන අතර ම රුධිරගත අහිතකර මේද (LDL -Low Density Lipoproteins ) මට්ටම පහත හෙලයි.එය සිරුරේ තරබාරු බව මෙන්ම හෘද් කිරීටක ධමනි අවහිරතා ඇති වීමේ අවධානමද අවම මට්ටමකට ගෙන එනවා.
               
එසේම සීනි නොමැතිව හරිත තේ පානයෙන් රුධිරගත ග්ලූකෝස් මට්ටම ක්‍රමවත්ව නියාමනය කර දෙන බැවින් මධුමේහ අවධානම ද අවම කිරීමට උපකාරී වේ.ඊට අමතරව අභ්‍යන්තර රුධිර වහන ඇතිවීමේ අවධානම අවම කිරීම, තුවාල සුවවීම ඉක්මන් වීම,ඇස් වල නිරෝගී බව ලබා දීම,මුත්‍රවාහිනී පද්ධතියේ සහ මොළයේ ක්‍රියාකාරිත්වය වර්ධනය කිරීම,යන ප්‍රතිලාභ ද ප්‍රබෝධ පානයක මිහිර අත්විඳීමට අමතරව හරිත තේ මඟින් ඔබට හිමි වෙනවා.

කෙසේ වුවත් දිනකට කෝප්ප පහක උපරිම මාත්‍රාවකට යටත්ව හරිත තේ පානය කළ යුතු බව සිහි තබා ගත යුතුයි. අධි මාත්‍රාවෙන් භාවිතයෙන් අක්මාවේ ක්‍රියාකාරිත්වයට බලපැම් ඇතිකිරීමට හැකි බැවිනි.එසේම තදබල වකුගඩු සහ හෘද රෝග වලින් පෙලෙන්නන්ද,ගැබිණි සහ කිරිදෙන මව් වරුන්ද,අක්මා රෝග සහ මධුමේහ රෝගීන් ද , ආමාශයික ක්ෂත (තුවාල ) සහිත පුදගලයින්ද,ප්‍රතිජීවක,ප්‍රතිරුධිරකැටිකාරක සහ උපත්පාලන ඔසු භාවිත කරන අය විසින් තමාට සුදුසු මාත්‍රාව වෛද්‍ය නිර්දේශ අනුව පමණක් තීරණය කළ යුතු වෙනවා.

 කෙසේවතුදු අධික තරබාරුවට ලක්ව ආහාර පාලනය සහ නොකඩවා කායික ව්‍යායාමයන්හි යෙදීම ගැටළුවක් කරගත් ඔබට මෙන්ම නිරෝගී ප්‍රබෝධමත් දිවිපෙවෙතක් අපේක්ෂා කරන ඕනැම අයෙකුට හරිත තේ සැනසුම් පවනක් විය හැකි බවට තවත් අටුවා ටීකා අවශ්‍යද?

           
 
 
  

Friday, June 15, 2012

ඔබටත් සීනි අමාරුවද ?......ඉතින් මොකද කරන්නේ.????



දියවැඩියාව කියලා කට වහරේ එන
මධුමේහය කියන්නේ අපි කාටත් මේ කාලයේ නිතර නිතර අහන්න ලැබෙන රෝග තත්වයක්.ආයුර්වේදයේ හැටියට මධුමේහය අයිති වෙන්නේ ප්‍රමේහ කියන රෝග වර්ගය යටතට.

"ප්‍රකර්ෂේණ ප්‍රභූතං ප්‍රචූරං වාරං වාරං වා මේහති මුත්‍රාභ්‍යං කරෝති"


වැඩියෙන් හෝ වරින්වර මුත්‍ර පහකරන රෝග අවස්ථා තමයි ප්‍රමේහ රෝග කියලා හඳුන්වන්නේ.ඒ අතරිනුත් සුව කිරීමට අපහසු රෝගයක් හැටියට තමයි ආයුර්වේදයෙත්
මධුමේහය ගැන තොරතුරු දක්වලා තියෙන්නෙ.ඒ විතරක්ද .සියළුම ප්‍රමේහ රෝග කාලය හා නොසලකා හැරීම මත මධුමේහය බවට පත්වෙන්න පුලුවන් කියලයි ආයුර්වේදයේ දැක්වෙන්නේ.මේ තත්වයම සමහර ආයුර්වේද ග්‍රන්ථ වල ක්ෂෞද්‍ර මේහය කියලත් හඳුන්වන අවස්ථා තියෙනවා. ඒ මධුමේහය මී පැණි වගේ, ඒ කිව්වේ මධුර ගුණයෙන් වැඩි මුත්‍රා පිටකරවන රෝග තත්වයක් නිසා.


මධුමේහ
රෝගීන් අපට පැහැදිලිව ම කොටස් දෙකක් හඳුනා ගන්න පුලුවන්.

1. ස්‌ථුල බලවත් පුද්ගලයන්


2.කෘෂ, දුබල පුද්ගලයන්


රෝගය ඇති වෙන්න ප්‍රධානම හේතු දෙකක් බලපානවා.


එකක් තමයි අපේ ආහාර රටාව සහ දිවි පැවත්මේ තියෙන අඩු ලුහුඬුකම් .අනිත් කාරණාව තමන්ගේ පරම්පරාවේ
මධුමේහ රෝගීන් සිටීම නිසා එම රෝගය පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කිරීම.

පරම්පරගතව
මධුමේහ රෝගයට ගොදුරු වුණ අයගේ ස්වභාවය බැළුවම වැඩි දෙනෙක් කෘෂයි .රළු ශරීර දරන අය.ආහාර රුචිය බොහෝ විට අඩුයි.නිතරම පිපාසාවෙන් ඉන්නේ.බැලු බැල්මට හරිම නොසන්සුන් .

කෑමෙන් බීමෙන් ,දිවි පැවැත්මේ දොස් වලින් රෝගයට ගොදුරු වුණ අය ආහාරවලට බොහොම ගිජු බව බැලු බැල්මටම පේනවා.ශරීර බොහොම මට සිළුටුයි.වැඩියෙන් කය වෙහෙසන්න එහෙම කැමැත්තක් නැහැ.පහසුවෙන් ආහාරයෙන් වත් සැප පහසුකම් වලින්වත් සැහීමකට පත් වෙන්නේ නැහැ.


නිතර නිතර ශීත/සිනිඳු/මිහිරි ආහාර පාන, කෘත්‍රිම/ක්‍ෂණික ආහාර වර්ග,දීකිරි/එළකිරි, හකුරු/සීනි/පැණි යෙදූ ආහාර වැඩියෙන් ගැනීම ,අසම්පූර්ණව වරින්වර ආහාර ගැනීම, දවල් නිදීම, ව්‍යායාම නොකිරීම, අලසකමින් කල්ගෙවීම කියන කාරණා ඔබටත් අදාල නම් ප්‍රවේශම් වීම නුවණට හුරුයි.


රෝගාරම්භයේදි පහත ලක්ෂණ මතුවෙන්න පුළුවන්.


*නිතර පිපාසය ඇති වීම

*දත්වල මැලියම් ,නාසයේ කබ ,කඳුළු,සෙම් පදාර්ථ වැඩි බව
*දිවට නිතර පැණිරස ස්වභාවයක් දැනීම
*කන් වල කලාඳුරු ලෙස හඳුන්වන මල කොටස් වැඩි වීම
*ශරීරය ඇලෙන සුළු ගතියෙන් යුක්ත වීම
*වරින්වර වැඩි වැඩියෙන් මුත්‍රා පිට වීම
*අත් පා දැවිල්ල
*තමන්ගේ ශරීරය තමාටම දුගඳ බව දැනීම

මේ අතරින් ප්‍රධානම ලක්ෂණය තමා වරින්වර වැඩි වැඩියෙන් මුත්‍රා පිට වීම.ගොඩක් වෙලාවට මෙහෙම පිටවෙන මුත්‍රා බොරපාටයි.පැසුනු පලතුරු සුවඳක් වහනය වෙනවා.ඇසිටෝන් ගන්ධය කියලයි ඒක රසායනිකව හඳුනා ගන්නේ.


ඒ වාගෙම අත් පා හිරිය,මස්‌පිඬු වේදනාව, සුව වීම ප්‍රමාද තුවාල, අධික තරබාරු බව හෝ ඉතාම කෙට්ටු ස්වභාවය,කැස්ස සහ සෙම සහිත බව කාලයක් පැවතීම,ශරීරයේ මොනයම් හෝ තැනක පවතින දැවිලි ස්වභාවය, විවිධ දන්ත හා මුඛ රෝග පිලිබඳ ඉතිහාසය වාගේ ලක්ෂණත් කල්යාමේදී හඳුනා ගන්න පුළුවන්.


සැකයක් තියෙනවා නම් හිත හිතා ඉන්න උවමනාවක් නැහැ.ඉතා පහසුවෙන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කිරීමෙන් අපට වෛද්‍ය උපදෙස් කරා යොමුවෙන්න පුලුවන්.


රෝග තත්වය ස්ථිරවම හඳුනා ගත්තා කියමු.එතකොට ප්‍රථිකාර කරන්නේ කොහොමද?කල් ගත වෙනවද?නිට්ටාවටම සුව කරන්න පුලුවන්ද?ඊළඟට හිතට නැගෙන්නේ ඔහොම ප්‍රශ්ණ ටිකක්.


වෙනත් රෝග වගේ නෙවෙයි.දිය වැඩියාව එහෙම නැත්නම්
මධුමේහයේදී බෙහෙත විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ.ඖෂධමය ප්‍රතිකාර ,ආහාර පාන වගේම නිවැරදි විහරණ කියන කාරණා තුනම නිවැරදිව පවත්වාගෙන යන්න ඕන. මොකද තවමත් මේ රෝගය නිට්ටාවටම සුව කරන්න පුළුවන් ක්‍රමයක් සොයාගෙන නැති නිසා සහ,නිවැරදිව ආහාර,විහරණ සහ ඖෂධ භාවිතාවෙන් සාමන්‍ය පුද්ගලයෙක් වගෙම වැඩකටයුතු කරගෙන යාමේ හැකියාව ලබාගනන් පුළුවන් නිසා.

වැඩි දෙනෙක් අහන දෙයක් තමයි දියවැඩියාවෙදි කෑමෙන් බීමෙන් පරිස්සම් වෙන්නේ කොහොමද කියන එක.


මුං ඇට, හැටදා හැල් වගේ රළු හාල් වර්ගවලින් හැදූ ආහාර, තල ,අබ, දිවුල් ,මාදම්,
කුරක්‌කන් ආහාර වර්ග, කැඳ වර්ග , කරවිල, කෙසෙල්මුව, පතෝල, ඇඹරැල්ලා, රතු ළුණු, සුදු ළුණු, නෝකෝල්, හතු, වැටකොළු, බෝංචි, කොහිල අල, කැකිරි, එළබටු වගේ ආහාර වලින් රෝගයට අයහපත් බලපැමක් වෙන්නේ නැහැ.

හැබැයි පොළොස්‌, කොස්‌, වට්‌ටක්‌කා, කැරට්‌, බීට්‌රූට්‌, මෑකරල්, අර්තාපල්, කිරි අල, ඉන්නල, අළු කෙසෙල්, බතල වගේ පිටි සහිත ආහාර නම් පරිස්සමකින් යුතුව ගන්න ඕන.


ඒ වගේම ආහාරයට දුරු වර්ග වැඩියෙන් එකතු කර ගැනීම,බත් වේල් වලදී බත් ප්‍රමාණය අඩුවෙන් සහ ව්‍යංජන වැඩියෙන් ගැනීම,දළු කොටස් වැඩියෙන් යෙදූ පලා මැල්ලුම් ලෙස ආහාරයට එක් කර ගැනීම ඉතා හොඳයි.


ඇවිදීම, පිහිනීම, බයිසිකල් පැදීම වගේ ව්‍යායාම ,පිරිසිදු කම,පාද වල තුවාල පවතිනවා නම් විශේෂයෙන් ඒ ගැන සැලකිලිමත් වීම,පෙනීම පිලිබඳ ගැටලුකාරි තත්වයක් තියෙනවා නම් ඇස්‌ පරීක්‍ෂා කරවා ගැනීම හොඳයි.ඒ වගේම රුධිරයේ ග්ලූකෝස් මට්ටම ගැනත් අවධානයෙන් ඉන්න ඕන.


දහවලට නිදා ගැනීම ,අලස කමින් ඔහේ කාලය ගත කිරීම නම් සුදුසුම නැහැ....................

ඔබත් අස්ථි සන්ධි වේදනා නිසා පීඩාවෙන්ද?




මැදි වියට එළඹීමත් සමඟ අස්ථි හා සන්ධි සම්බන්ධ ගැටළු කාරී අවස්ථාවන්ට මුහුණ දීමට බොහෝ කාන්තාවන්ට සිදුවේ.ආර්ථව අභාවයට පෙර හා පසු අවධියෙහි ඇතිවන හෝමෝන වෙනස්කම් සහ ඒ ආශ්‍රිත සංකුලතා බොහෝ විට මේ තත්වයට බලපෑම් ඇති කරයි.

අපගේ සිරුර නිර්මාණය වී ඇත්තේ සම්පූර්ණ හෝ අර්ධ වශයෙන් චලනය කළ හැකි සන්ධි දෙසිය තිහකිනි.අස්ථි පද්ධතිය මඟින් සිරුරට නිශ්චිත හැඩයක්ද,චලනය වීමේ හැකියාවද,ස්ථායීබවද ලබා දෙයි.සන්ධියක් නිර්මාණය වනුයේ අස්ථි දෙකක් හෝ කිහිපයක් අතර කලාපයේය.එය කාටිලේජ ,විවිධ තරල සහ පටක සහිත කලාපයකි.ඕනෑම  සන්ධි ආශ්‍රිත රෝග තත්වයකදී මෙම කොටස් එකක් හෝ කිහිපයක් ආඝාතයට පත්වීම දැකගත හැකිය.

 දිනපතා ශරීරයේ සිදුවන විවිධ වෙනස්කම් නිසා ඕනෑම පුද්ගලයකුගේ අස්ථි සහ සන්ධි නිරන්තර වෙනස්කම් වලට භාජනයවේ.නමුත් කාන්තාවන් ගේ වයස අවුරුදු තිහ පමණ පසු වූ පසු මෙම ක්‍රියාවලියේ සමතුලිත බව බිඳ වැටීමක් සිදු වීම දැකගත හැකිය.එතැන් සිට ක්‍රමයෙන් සිරුරේ අස්ථි සහ සන්ධි දුබල වීමටත් විකෘති තා හට ගැනීමට ඇරඹීමත් සිදුවේ.ඒ සඳහා ඊස්ට්‍රජන් ඇතුළු ස්ත්‍රී හෝමෝනවල වෙනස්කම්ද,ක්‍රමවත් පරිදි අස්ථි වර්ධනයට අවශ්‍ය පෝෂක නොලැබීම,බලපායි.නමුත් පහත් කරුණු පිළිබඳ සැලකිලිමත් වීමෙන් මැදිවියේ ඔබට එම ගැටළුකාරී තත්වයට සාර්ථකව මුහුණ දීමේ හැකියාව ලබා ගත හැකි වේ.

මෙම රෝග තත්වයන් පාලනය කිරීමේදී මානසික සහ කායික විවේකය අතිශය වැදගත් ය.නිරක්ති තත්වයක් වේ නම් එය මඟ හරවා ගැනීමටත්,අධික ශීතල හෝ උණුසුම සහිත ස්ථානවලින් ඉවත් වීමටත්,වෙනත් රෝගාබාධයන් වේ නම් ඒ සඳා ඉක්මන් ප්‍රතිකාර වෙත යොමු වීමද ඉතා වැදගත් ය.
            

ආයුර්වේද මතානුකූලව වාතය සන්ධි රෝගවලදී කෝප වන ප්‍රධානතම දෝෂ තත්වය වේ. ඒ අනුව සන්ධි රෝග සඳහා ප්‍රතිකාර කිරීමේදී අභ්‍යන්තර ඖෂධ,තෛල අභ්‍යංග කිරීම (තෙල් ගෑම ), ස්වේදනය (ඖෂධීය වාෂ්ප ඇල්ලීම ),සුදුසු ආහාර සහ යෝග ව්‍යායාම සහ විවේකය ලබා දීම රෝග තතවය අනුව අඩු වැඩි වශයෙන් සිදුකළ යුතුය.

විශේෂයෙන් අධික ප්‍රදාහතත්වයක් පවතින අවස්ථා වලදී ව්‍යායාමයෙන් වැලකීමට සහ හැකිතාක් විවේකය ලබා ගැනීමටත් සැලකිලිමත් විය යුතුය.නමුත් අවශ්‍ය අවස්ථාවේ ව්‍යායාම නොලැබී ගියහොත් සන්ධි කොරවීමට සහ,විකෘති වී චලනය කළ නොහැකි තත්වයට පත් වීමේ අවධානමක් පවතින බැවින් සුදුසුකමලත් වෛද්‍යවරුන්ගේ අධීක්ෂණය යටතේ ප්‍රථිකාර සහ උපදෙස් ලැබීම වැදගත් ය.

.අස්ථි- සන්ධි සෞඛ්‍යය කෙරෙහි බලපාන පෝෂක ද්‍රව්‍ය විස්සක් පමණ අප ආහාරයේ අඩංගු වේ. සමතුලිත ආහාර වේලක අවශ්‍යතාවය වැදගත් වනුයේ එබැවිනි.

අධික ලෙස සත්ව ආහාර ,පැණි රස ආහාර,කල්තබා ගැනීමේ ද්‍රව්‍ය යෙදූ ආහාර ගැනීම නිසා අපගේ රුධිරය සහ ශරීර පටකවල ආම්ලික ස්වභාවය ඉහල යාම අස්ථි කෙරෙහි අහිතකර බලපෑම් ඇති කරයි.එසේම ගැඹුරු තෙලෙහි බැදගත් ආහාර,බිත්තර කහමදය,විශේෂයෙන් පාන් පිටි ආහාර පරිභෝජනයෙන්ද හැකි තාක් වැලකී සිටියයුතු ය. අස්ථි ආශ්‍රිත වාත රක්ත අවස්ථාවක් පවතින විට තක්කාලි,ඉස්සන්,දැල්ලන්,බලමාලු,සෝස් වර්ග ,අච්චාරු වර්ග,චට්නි ආදිය නිසා රෝග තත්වය වර්ධනය වීමේ අවධානම වැඩිය

ආයුර්වේදයෙහි හමුවන ප්‍රධානතම රසායන ඔසුවක් වන නෙල්ලි සහ කරවිල,කුඹුක්,මුරුංගා,ලුණුවිල,ආදී ඔසු මේ සඳහා ප්‍රශස්ත ආකාරයෙන් යොදා ගත හැකි වීම විශේෂයකි

නික,රණවරා,අමුක්කරා,කුන්දිරික්කම්,බෙහෙත්එරඬු,ගුගුල්,ගොඩමානෙල්,සුදුළුණු,බෙලි,මුරුංගා,වදකහ,රසකිඳ,ජටාමාංශ සහ පිටසුදු සාරණ සන්ධි රෝග සඳහා සුලබව භාවිත කෙරෙන ආයුර්වේද ඖෂධ වර්ග වේ.ඒ ආශ්‍රිත ප්‍රශස්ත තතවයේ නිෂ්පාදිත ආයුර්වේද ඖෂධ වෛද්‍ය උපදෙස් මත භාවිත කිරීම සහ ඉහත සඳහන් පරිදි ඔබේ ආහාර විහරණ රටා සකස් කර ගැනීමෙන් ඔබටත් පහසුවෙන් සන්ධි ආශ්‍රිත රෝග තතවයන්ගෙන් මිදීමේ හැකියාව ලබා ගත හැකිය.

Thursday, June 14, 2012

මහළු විය පමා කරන ආයුර්වේද රසායන තන්ත්‍රය



මහළුවීමත් සමඟ හටගන්නා කායික මානසික දුබලතා නිසාම අද මහළු විය පමාකරගැනීමට බොහෝ දෙනා උත්සහ දරති.

රසායනය නැතිනම් රසායන තන්ත්‍රය යනු අදට වසර 3000කට පමණ පෙරදී බිහිවූ අෂ්ටාංග එනම් අග අටකින් යුත් ආයුර්වේදයේ එක් අංශයකි.ආයුර්වේදයේ අරමුණු දෙකකි.නිරෝගී භාවය සුරක්ෂිත කිරීම සහ රෝගී බවෙන් මුදාගැනීම එම අරමුණු දෙක වන අතර රසායන තන්ත්‍රය වැදගත් වන්නේ නිරෝගීබාවය සුරක්ෂිත කිරීම සඳහා ය.

මහළුවීම රෝගයක්දැයි විමසුවොත් ;එක්තරා ආකාරයකින් කායික ,මානසික මෙන්ම සමාජයීය ගැටළු ඇති කරන නිසා මහළු වීම එක්තරා ආකාරයක රෝගයක් ලෙස සැලකිය හැකි ය.නමුත් එය සුවකළ නොහැකි ය.එනම් ජීවත්වන කිසිවෙකුත් අමරණීය නොවන්නේය.ආයුර්වේද මූල ග්‍රන්ථයක් වන සුශ්‍රැත සංහිතාවේ 29 වැනි අධ්‍යායෙහි සඳහන්ව ඇති ස්වභාවික රෝග පහකි.

1.ක්ෂුදා(බඩගින්න )
2.පිපාසා(තිබහ )
3.නිද්‍රා(නිදිමත )
4.ජරා( මහළු වීම )
5.මරණ (මරණය )

යන එම රෝගයෝ ඉපදුණු සෑම ස්ත්‍රියකටම,පුරුෂයකුටම හටගන්නා වූ ස්වභාවික රෝගයන් වේ.ආහාර ගැනීමෙන් බඩගින්නද,ජල පානයෙන් පිපාසයද,නිදා ගැනීමෙන් නිදිමතද,සංසිඳුවා ගත හැකි නමුත් මහළුවීම තුලින් මරණයට ළඟා වීම වැලැක්වීම අභියෝහයකි.

මේ සඳහා සාර්ථක පිළිතුරු සපයා දීර්ඝ ආයුෂ ලබා දෙන විශේෂිත අංශයක් වන්නේ රසායන තන්ත්‍රයයි.අතීතයේ දී රාජ අමාත්‍යවරුන්ද , බිසෝවරුද, දින චර්යාවක් ලෙස රසායන ඖෂධ සහ ප්‍රතිකාර භාවිත කරන ලද්දේද මේ නිසාමය.රූමත් වූද,මානසික කායික ජවය සපිරි තාරුණ්‍යය බෝකල් වින්දනය කරමින් දීර්ඝායුෂ ලැබීමට හැකි බව ලබා දෙන නිසා රසායන තන්ත්‍රය සුවිශේෂී වේ.

රසායන ඖෂධ යනු මොනවාදැයි යම් අවබෝධයක් මේ වන විටත් ඔබ සතුව ඇත.එම රසායන ඖෂධ මඟින් පහත ප්‍රථිපල ලබා දෙන බව ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි සඳහන් වේ.

*දීර්ඝායුෂ
*මතකය බුද්ධිය
*නිරෝගීබව
*තාරුණ්‍යය
*පැහැපත් සම
*වර්ණය
*මිහිරි කටහඬ
*දේහ බලය
*හඬෙහි පැහැදිලි බව
*ආකර්ෂණශීලී පෙනුමක් ලබාදීම වශයෙනි.

මහළු වියට එළඹීමත් සමඟ අපගේ ආයුෂය අල්ප වී යයි.මතකය දුර්වල වේ.නිතර නිතර වල රෝග තත්වයන්ට අප ගොදුරු වේ.තාරුණ්‍යය වැලලී ගොස් සමෙහි වර්ණය ,පැහැපත්බව සහ ආකර්ෂණය ද වියැකී යයි.කට හඬ ද දුබලවේ.මහළුවියට පත්වන්නේ මෙසේ යැයි නියත ලෙසටම පැහැදිළි කළ හැකි නියමයක් මෙතෙක් බිහිවී ද නැත.ඒ පිළිබඳ වූ එක් මතයකට අනුව මහළු බව ඇති වනුයේ අපගේ ශරීරයේ ජීව ක්‍රියාවලින් නිපදවන "අපද්‍රව්‍ය" කොටස් දේහ සෛල වළ කාලාන්තරයක් රැස් වීමෙන් සෛල මිය යාම සහ දුබල බවට පත් වීම නිසා මහළු බවට පත්වීම සිදු වෙතැයි විශ්වාස කෙරේ.

ඒ අනුව බලන කලද මහළු බව පමා කරගැනීම සහ,අකලට මහළු වීම පමා කර ගැනීමට සුදුසුම ක්‍රමවේදය ආයුර්වේද රසායන තන්ත්‍රයයි.ඒ මන්ද යන වග රසායනය පිළිබඳ වූ ආයුර්වේද නිර්වචනයට අනුව වටහා ගත හැකිය.

"රසායන " යන පදය තැනී ඇත්තේ "රස"සහ "අයන"යන කොටස් දෙකිනි.එයින් "රස" යනුවෙන් පෝෂණ‍ය යන්නත් "අයන" යන්නෙන් නිවැරදි ලෙසට ලබා ගැනීම යන්නත් ගම්‍ය වේ.ශරීරයට අභ්‍යන්තර සහ බාහිර යන දෙ ආකාරයෙන්ම "නිවැරදි"ලෙසට පෝෂණය ලැබේ නම් තාරුණ්‍යය දිගු කලක් ක්‍රමවත්ව පවත්වාගෙන යාම අපහසු නොවේ.ජලය ගලායන නලයක් වුව නිසි කල පිරිසිදු කිරීම අත්‍යාවශ්‍යවේ.එසේ නොවීමෙන් එහි ජල ගමනාගමනය අවිධිමත් වේ.ගැටළු ඇති කරයි.නිරන්තරව විවිධාකාර ද්‍රව්‍ය සංසරණය වන අපේ ශරීරයද එසේමය.ශරීරයෙහි විවිධ ස්‍රෝතස්(වාහිනී ) පිරිසිදු කර රැස්ව ඇති අපද්‍රව්‍ය ඉවත් කර ක්‍රමවත් ලෙස පෝෂණය සියළු සෛල වෙත ලබා දීම රසායන ඔසු මගින් සිදු වේ.
 

Saturday, May 26, 2012

අමුර්තෙන් උපන් රසකිඳ....

මෙරට විසූ දක්ෂ වෛද්‍යවරයකු ලෙස සැලකෙන රාවණ රජු විසින් රාමපතිනි සීතාව පැහැරගත් අවස්ථාවේ ඇය බේරා ගැනීමට රාම කුමරු සමග හනුමාන් ප්‍රමුඛ වානර සේනාවක් පැමිණි අතර එම සටනින් රාම පාර්ශවය ජය ලබා ගත්තා.එහිදී මියගිය වානර සේනාවට ශක්‍ර දෙවියන් විසින් අමෘතය ඉස නැවත ජීවය ලබා දුන් බවත් ,ඔවුන්ගේ සිරුරෙන් බිම වැටුනු අමෘතයෙන් "අමෘතා"පර්යාය දරන රසකිඳ නිපන් බවත් ජනප්‍රවාදයෙහි සඳහන්.

උද්භිද විද්‍යාත්මකව Tinospora cordifolia නමින් හා දෙමළ බසින් "සින්දී" නමින් හඳුන්වන බහු වාර්ෂික ආරෝහකයක් වන මෙය වියළි කලාපයේ සුලබව දැකිය හැකි ලතාවක්. කටු තික්ත කෂාය රස දරන මෙහි සුලබව භාවිතයට ගන්නේ කඳ කොටසයි. "රසායන" එනම් වයස්ගත වීම ප්‍රමාද කරවා ආයු,වර්ණ බල වර්ධනය කිරීමේ හැකියාව රසකිඳ ශාකය සතුයි.කුසගින්න වඩවාලීමේ හැකියාවත්,ශරීර බලය වඩවාලීමේ හැකියාවත් සහිතයි.දේශීය සහ ආයුර්වේද වෙදකමෙහි මධුමේහ,පාණ්ඩු,ජ්වර,කුෂ්ට,දාහ රෝග සඳහා යොදන කෂාය වට්ටෝරුවල රසකිඳ නිතර හමුවෙනවා .

එහි අඩංගු ඇල්කොලොයිඩ සහ ග්ලූකොසයිඩ වල රුධිරගත ග්ලූකෝස් සහ යූරියා මට්ටම අඩු කිරීමේ හැකියාවත්,ආමවාත රෝගයේදී සන්ධි ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහාත්මක ඉදිමුම් නැතිකිරීමේ හැකියාවත්,අක්මාසෛල වල තන්තුමතාවය (Hepatic fibrosis) නැති කිරීමේ හැකියාවත් සහිත බව පර්යේෂණ මඟින් හඳුනාගෙන තිබෙනවා.

මනබඳනා මදුරුතලා වග...

කඩිනමින් ව්‍යාප්ත වන   Ocimum sanctum  යන විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මදුරුතලා ශාකයේ පත්‍ර වියළා ගිනි අඟුරු මත ඉසීමෙන් වන දුම  මදුරුවන් පලවා හැරීමේ හැකියාව සහිතය.හින්දු භක්තිකයන් දේවත්වයෙහි ලා සලකන සෙන්ටිමීටර පනහක පමණ උසින් යුතු මෙම ක්ෂූපය හනුමාන් භක්තිකයන්ගේ විශේෂ පුදසත්කාර ලබන්නකි.


ශ්‍රී ලංකාවේ මදුරුතලා ප්‍රභේද කිහිපයක් හමුවේ.එනම් හීන් මදුරුතලා, මහ මදුරුතලා, කළු මදුරුතලා, ගස් තලා යනුවෙනි.රසායන ගුණය එනම් නිරෝගී දීර්ඝ ජීවනය ලබාදීමේ හැකියාව මෙම ශාඛය සතු බව  ආයුර්වේද මූලග්‍රන්ථයන්හි සඳහන්ය.

වියළි කලාපයේ බහුලව වැවෙන අතර ඖෂධ සඳහා සම්පූර්ණ ශාකයම යොදා ගනියි. මදුරුතලා කොළ ස්නායු ශක්තිමත් කරයි.මානසික ආතතිය දුරලයි. කාස ශ්වාස අවස්ථා වලදී සහනය සලසයි.කුසගින්න වඩවයි.  සමේ සිසිල් බව ඇති කරන අතර ආයුර්වේදීය රූපලාවන්‍ය ප්‍රතිකර්ම වලදී සමට ප්‍රශස්ත පිරිසිදුකාරකයක් (cleanser)ලෙස මදුරුතලා කොළ යුෂ යොදා ගැනේ.

ප්‍රතිශ්‍යාව මුල් අවස්ථාවේදී මදුරුතලා කොළ තම්බා උගුර සේදීමෙන් සහනයක් ලබා ගත හැකිය.පරණ වූ ප්‍රතිශ්‍යාවේදී මදුරුතලා,ගම්මිරිස් සහ කරාබු නැටි තම්බා බීමෙන් සුව සහනය ඇති වේ.මුඛ දුර්ගන්ධය ,විදුරුමසින් ලේ ගැලීම සහ මුඛයේ ඇතිවන කුඩා තුවාල (aphthous ulcer) සඳහා මදුරුතලා ප්‍රශස්ත ඔසුවක් වේ.

Monday, October 17, 2011

Primary Amenorrhea AND "shandi Yoni Vyapat”

  
As a general health problem in current society studying and identify the conditions and diseases which can cause primary amenorhhea ,and identifying the similarity between primary amenorrhea and “shandi yoni vyapat”, can be useful in prevention of the diseases.

Amenorrhea is absence of menstruation and a normal feature in pre pubertal, pregnant, and postmenopausal females. Amenorrhea can be caused by any change in the organs, glands, and hormones involved in menstruation. Stress due to internal or situational concerns can cause secondary amenorrhea, because stress interferes with the brain's control (through hormones) of the ovaries.

The term is derived from Greek: a = negative, men = month, rhoia = flow. Derived adjectives are amenorrhoeal and amenorrheic. The opposite is the normal menstrual period (eumenorrhea).

In preindustrial societies, menarche typically occurred later than in current industrial societies. After menarche, menstruation was suppressed during much of a woman's reproductive life by either pregnancy or nursing. Reductions in age of menarche and lower fertility rates mean that modern women menstruate far more often.
Amenorrhea may be classified as physiological and pathological amenorrhea.

Physiological amenorrhoea (lack of periods) is normal during certain times in a woman's life such as Before Puberty, During Adolescence, During Pregnancy, While Breastfeeding, and During Menopause.

Pathological Amenorrhea or loss of periods is amenorrhea that occurs as a symptom of an underlying disease. It is not a disease process in itself. There are two types of pathological amenorrhea as primary and secondary amenorrhea.

Primary amenorrhea is defined as the
1.      No menses by 14 years of age and absence of secondary sex characteristics
2.      No menses by age 16 years of age with presence of secondary sex characteristics

Clinical approach to primary amenorrhea is described as
1.      breast are absent but uterus is present
2.      breast are present but uterus is absent
3.      breast are present and uterus is absent

Secondary amenorrhoea  is often caused by hormonal disturbances from the hypothalamus  and the pitutary gland or from premature menapause  , or intrauterine scar formation. It is defined as the absence of menses for three months in a woman with previously normal menstruation or nine months for women with a history of oligomenorrhea .

In Ayurveda, the diseases which affect the female organ of reproduction (yoni) have been classified into twenty different kinds as “yoni vyapat” .

In thirty eighth  chapter in uththarasthana of susruta samhita,chapter thirty in chikithsa sthana of charakasamhita,chapter thirty three in uththarasthana of astangahradaya samhita mentioned about the twenty different kind of diseases which affect the female genital organs describes under “yoni vyapat”.

Among them there are few that results in amonorrhea such as vandya,shandi,karninee and Shandi yoni vyapat causes primary amenorrhea.

But so far, none has established a clear relationship between shandi and congenital errors that may give rise to primary amennorea. People are not aware about these condition and why it occurs and Lack of understanding about the condition leads it to be over seen by doctors.

As not a curable disease once it occurred we should pay so much attention to this condition because women who suffer from shandi cannot reproduce,and they may cause various kinds of social problems .

Because Sexual reproduction allows mixing of genes which will result in more desirable traits that will result in individuals  who can better adapt to the environment, a fact that ensures the continued existence of a given species and people with ambiguous sexual pictures are not a  natural phenomenon, it is a mutation.

according to ayurveda, shandi yoni vyapat can be prevented to some extent(leaving out the "athma karma dosha")

Taking whatever measure to prevent the condition from occurring is important because these patients are a social liability because they cannot reproduce and they may cause various kinds of social problems

If we can identify what diseases fall under shandi, we can come to the conclusion that whatever preventable measures mentioned in ayurveda for shandy are also applicable for the diseases mentioned in western medicine under the primary amenorrhea.

There by awareness can be raised in people as to what we can do to minimize the possibilities of these kinds of congenital errors being occurring.

Monday, June 27, 2011

පැහැපත් සුවබර සමකට....(පුරුදු විදිහටම ද? )

සම කියන්නෙ අපේ ශරීරයේ වැදගත්ම අවයවයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ."බාහිර සම අහ්‍යන්තරයේ කැඩපතය" කියලත් කියන්නේ ඒ නිසාමයි.පැහැපත් ,නිරෝගී සමක් පුද්ගලයෙක්ට ආශිර්වාදයක්.මෙතරම් සම සුරකින්නට ය කියාගත් ආලේපන ,ප්‍රථිකාර ක්‍රම වෙළඳපොලේ පවතින්නත් හේතුව ඒකයි.

සම වයස්ගත වෙන්නෙ අපිත් එක්කමයි.ඒ නිසාම පුද්ගලයෙක්ගෙ තරුණ බාවය තීරණය කරද්දි සම වැදගත් සාධකයක් වෙනවා.සාමාන්‍යයෙන් අපේ සමට බලපැම් ඇති කරන වැදගත්ම සාධකයක් තමයි හිරු එළිය.සමකාසන්න රටක ජිවත් වෙන අපි නිරන්තරව විවෘත සූර්යාලෝකයට නිරාවරණය වෙනවා වැඩියි.ඒ නිසා හැකිතාක් සූර්ය රශ්මියෙන් ආරක්ෂාවෙන්න කටයුතු කිරීම සම පිළිබඳ සැලකීමේදි ඉතා වැදගත්.එමගින් අපිට,සූර්යකිරණවලින් සම වයස්ගතවීමට ඇතිකරන බලපැමෙන් ආරක්ෂා වෙන්න පුළුවන් වගෙම ,සූර්යාලෝකයෙන් ඇතිකරන පිලිස්සුම් ආකාර ලප ඇතිවීම වලක්වාගන්නත් පුළුවන්.අපේ රටේ අහන්න දකින්න අඩු වුණත් සූර්යාලෝකයට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම පිළිකා ඇතිවීමට හේතු වෙන බව දැන් තහවුරු කරගෙන තියෙනවා.හරිම සරලයි වගෙ පෙනුනත් මේක ටිකක් වැදගත් කාරණාවක් වෙනවා රූප සොබාව ගැන හිතද්දි.

  අනිත් කාරණාව තමයි වතුර.සමේ තෙතමනය හා සිසිල්බව එහි නිරෝගීකමට ඉතාම තදින් බලපානවා.මේ සඳහා නිෂ්පාදිත ආලේපන වර්ග හෝ ස්වභාවිකවම ගස්ලබු ,අලිපේර,පිපිඤ්ඤා වගෙ ආලේපන යොදාගන්න පුළුවන් වුනත් අපි කාටත් මග හැරුණ පහසුම ක්‍රමය තමයි දිනපතා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කිරීම.කවුරුත් දන්නවනෙ අපේ පරිවෘත්තිය ක්‍රියා වලදී අපි පානයෙන් ලබාගන්න ගන්න ජලයෙන් විශාල ප්‍රමානයක් අපට අහිමි වෙනවා.ඉතින් ආහර පාන වලින් අපි නැවත ඒවා ලබාගතයුතු වෙනවා.සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ලීටර් එකහමාරක් විතර ජලප්‍රමාණයක් අපි දිනකට මුත්‍රා හැටියට පිට කරනවා.තවත් ලීටරයක් පමණ ස්වසනයේදි,දහඩිය සහ වෙනත් ශාරීරික චලන වලදී පිට වෙනවා.ඒ හින්දා පිරිමි පුද්ගලයෙක් නම් දිනකට වතුර ලීටර් තුනක් පමණවත් සහ කාන්තාවක් නම් ලීටර් දෙකයිදශම පහක්වත් පානය කරන එක සමේ කළ‍‍‍‍ණයට විතරක් නෙවෙයි ජීවිත කාලයේම නිරෝගී බවට වැදගත්.මීට අමතරව තමන්ගෙ සමේ ස්වාභාවය අනුව යොදන්න පුළුවන්, නිවසේදීම හදාගන්න පුළුවන් ,සමේ තෙතමනය රකින පහසු ආයුර්වේද ප්‍රථිකාරකත් තියෙනවා.

අනිත් කාරණාව තමයි දුම්පානය.තමන් දුම් පානය කරනවා වගෙම දුම් පානය කරන්නන් අසල ගැවසීමත් අනික් සෞඛ්‍ය ගැටලුවලට වගේම සම අකලට මහළු වෙන්න බලපානවා.එහි අඩංගු නිකොටින් සහ අනෙකුත් රසායනික ඔබේ සම මත සෛල වල ඔක්සිජන් සැපයුමට බාධා ඇති කිරීමත්,මියගිය සෛල වෙනුවට නව සෛල වැඩීමට බාධා ඇති කිරීමත් සිද්ධ කරනවා.ඒ නිසාම සම පහසුවෙන් අඳුරු පැහැ‍යට හැරී අකලට වයස්ගත වීම ඇති වෙනවා.

     මග තොට යන එන කොට දූවිල්ලට දුමට නිරාවරණය වීම සාමාන්‍යයි.එහෙම රැඳෙන අපද්‍රව්‍ය නිසි ආකරයට පිරිසිදු කරලා ඉවත් නොකිරීමත් සම අකළට මහළු වෙන්න හේතු වෙනවා.සුදුසු ආලේපනයක්(ස්වභාවික හෝ නිෂ්පාදිත )පාවිච්චි කරලා මේ කටයුත්ත පහසුවෙන් කරගන්න ගත වෙන්නෙ මිනිත්තු කිහිපයක් විතරයි.හැබැයි තමන්ගෙ සමට ඒ ආලේපන සුදුසුද කියන එක අවබෝධයෙන් තීරණය කරන්න ඕන කාරණාවක්.

සම මතුපිට රුධිර සැපයුම ක්‍රමවත් නොවුනාමත් සම මහළුවීම ඉක්මන් වෙනවා.මෘදු සම්බාහනයක් මගින් අපට සමේ රුධිර සැපයුම උත්තේජනය කරන්න පුලුවන්.අධික උණුසුම වගේ අධික සීතලත් සමට ඉතාම අහිතකරයි.සමහර වෙලාවට අපි භාවිත කරන රූපලාවන්‍ය ආලේපන,උපකරණ,අධික ලෙස නිදි වැරීම,රැකියාවේ ස්වභාවය,ආහාර රටාව මෙකී නොකී බොහෝ දේවල් සමේ නිරොගීබවට අපි නොහිතන බලපැම් ඇති කරන්න පුළුවන් .

හිතන පතන රටාවත් සමේ සුව පහසුවට ඉතා වැදගත්.ඒ ඒ කාලයට ඇතිවන සිතිවිලි හා මානසික තත්වය අනුව සමෙහි තෙතමනයවෙනස් වීම,තෙල් සහිත බවක් ඇති වීම ,කුරුලැ සහ ලප කැළැල් ඇති වීම සිදු වෙන්න පුළුවන්.

මේ සියල්ලත් එක්කම පෝෂණයත් ඉතාම වැදගත් බව අමතක කරන්න හොඳ නැහැ.


 ආයුර්වේදයේ රසායන සහ වාජීකරණ ගැන සඳහන් වෙන කොටසේ අකලට මහළුවීම වලක්වාගන්න පුලුවන් සාර්ථක නමුත් කැපවීමෙන් සිදු කලයුතු,ආහාර,ඖෂධ සහ ඇවතුම් පැවතුම් රටා ගැන පැහැදිලි විවරණ‍යක් ලබා දීල තියෙනවා.ඊට අමතරව සම්බාහනය පිළිබඳ සඳහන් කිරීමේදි මුහුණේ පිහිටි සුවිශේෂී මර්මස්ථාන පිළිබඳවත්,ශ්වසන අභ්‍යාස පිළිබඳවත්, වර්තමානයේ භාවිතවෙන , hydrotherapy, සහ aromatherapy පිළිබඳවත් ආයුර්වේදයේ සඳහන් වෙන්නෙ සම පිළිබඳව ස්ථර වශයෙන් පැහැදිළිව ව්‍යවච්ඡේදනය කිරීමක්ද සහිතවමයි.ඒ වගෙම පුද්ගලයාගේ සමේ ස්වභාවය අනුව වර්ගීකරණයකට ලක් කිරීමක්ද පැහැදිලිව හඳුනා ගන්නට ලැබෙනවා.ඒ ඒ පුද්ගලයාට ප්‍රතිකාර නියම කර තිබෙන්නේ ඉන් පසුවයි.සමට වර්ණය ලබා දෙන භ්‍රාජක පිතෙහි විකෘතිතා ඇතිවන අන්දම සහ ඒවාට ප්‍රථිකර්ම යොදන ආකරය සරලව හා නිරවුල්ව දක්වා තිබෙනවා.ඒ ප්‍රතිකර්ම ක්‍රම තුල සම්බාහන,ධාරා කර්ම,අභ්‍යංග ක්‍රම සහ ලේප යෙදීම් ආදීයත් ,අභ්‍යන්තර ප්‍රතීකාරත්,යෝග ව්‍යායාම් ආදියත් ඇතුලත්.

මෙහිදී අවධානයට යොමු නොවුණු සුවිශෙෂ කලාපයක් තියෙනවා.ඒ තමයි ච‍්රම රෝග.මෙතනදී බලාපොරොත්තු වුනේ සම නිරෝගීව පවත්වාගෙන යාම සිදු කරන්නෙ කොහොමද කියන කාරණාව පමණක් නිසා.

 ආයුර්වේදය විශිෂ්ඨ දර්ශනයක්.වෛද්‍ය ක්‍රමයක්.ප්‍රතිකාරයට සේම රෝග වලක්වා ගැනීමට මූලිකත්වය සමබරව ලබාදෙන.ඉතින් යහපත් , නිරෝගී දිවිපැවත්මක් සමඟ රුවැති සමක් ලබා ගැනීමට සිතීම ඔබ තවදුරටත් පමා කරනවාද ? :)








              

Sunday, April 24, 2011

ලංකායුර්වේදීය පූර්ව යුගයේ විකාශනය


උපතේ සිට මරණය දක්වා ගෙවන්නා වූ දශක කිහිපය තුල "මානවයා"නම් වූ සුවිශේෂ ජීවියාට ඉටු කිරීමට නියමිතව ඇති යුතුකම් රැසෙකි.ස්වකීය වර්ගයාගේ පැවැත්ම උදෙසාද,ජීවිත ජයග්‍රහණය උදෙසා ද එහිලා ස්වකීය කායික මානසික සුවතාවය අතිශය වැදගත් වනුයේ,ඒ සඳහා වූ කාර්යපටිපාටීන් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අනුගමනය කල සෞඛ්‍යාරක්ෂණ ක්‍රමෝපායයන් හා ඇවතු පැවතුම් එදා මෙදාතුර විවිධාකාර හා වත්මනෙහි වඩාත් සංකීර්ණ වුවද එහිලා ගැනෙන පරමාර්ථය නොවෙනස්ය.ඒ අනුව යුග දේශ නියමයකින් තොරව සෞඛ්‍යාරක්ෂණය උදෙසා අනුගමනිත ක්‍රමෝපායයන්  විධිමත්ව පැවැත්වූ බවට ලිඛිතමය තොරතුරු,ජනප්‍රවාද,හා කැනීම් ඇසුරින් ලද තහවුරු කිරීමේ සාධක ග්‍රික,මෙසපොතේමියානු,අරාබි හා ඉන්දියානු ආදී ශිෂ්ටාචාර වල විරල නොවේ.ඒ අතුරින් භාරතීය ශිෂ්ටාචාරයෙහි සුපුෂ්පිතව මෙදෙසට හමා ආ ඉන්දියානු වෛද්‍ය ක්‍රමයත් ඒ හා සම්මිශ්‍රිත දේශීය වෛද්‍ය සම්ප්‍රදායත් ඇසුරින් බිහිවූ "ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය " සුවිශේෂී වේ.


මෙරට පැවති වෛද්‍ය  ක්‍රම පිළිබඳ සැලකීමෙදී අවධානයට හසු කරගත හැකි කලාප තුනෙකි.එනම්,

1.ජනප්‍රවාද සහ ගැමි කථානදර ආදිය හෙවත් වාචසික සාක්ෂි
2.මහා වංශය ,චූල වංශය ආදී මෙරට ඉතිහාසය පිළිබඳ පිළිගත් ග්‍රන්ථාරූඪ සාක්ෂි
3..කැනීම් හා සෙල්ලිපි ආදිය මගින් හඳුනා ගෙන ඇති සාක්ෂි   වශයෙනි.

මෙකී සියලුම සාධක තුලින් තහවුරුකරගන්නා කරුණු නැවත ,

1.ආයුර්වේදය පිළිබඳ දැක්වූ සුවිශේෂී අවධානය
2.ප්‍රජා සනීපාරක්ෂාව තහවුරු කිරීමට අනුගමනිත ක්‍රියා මාර්ග

ලෙස ඉසව් දෙකක් ඔස්සේ ව්‍යාප්තව ඇති බව පැහැදිලි වේ.

මෙරට රාජාවලියේ ආරම්භකයා වන විජය රජු සහ විජායවතරණය පිළිබඳ  පුවත බුද්ධ කාලයෙ අවසාන යත් සමඟ ඇරඹෙන්නකි.බුදුන් වහන්සේ ජීවමානව සිටි කාලයටත් වසර එක්දහස් අටසිය හතලිහකට පමණ පෙර "ලංකාපුර" නම් දේශයක රාවණ නැමැත්තකු රජකම් කළ බවත්, ඔහු විසින් "ශිව තාන්ඩව ස්ත්‍රෝත්‍රය".,"කුමාර තන්ත්‍රය","නාඩි ප්‍රකාශය","අර්ක ප්‍රකාශය",ආදී කෘතීන් රචිත බවත්;මෙකී ලංකාපුරය වත්මන් ශ්‍රී ලංකාවම  විය හැකි බවත් විස්වාස කෙරේ.මින් "කුමාර තන්ත්‍රය","නාඩි ප්‍රකාශය","අර්ක ප්‍රකාශය"වෛද්‍ය ශාස්ත්‍රය පිළිබඳ රචිත ග්‍රන්ථ වන අතර යක්ෂ ගෝත්‍රික රාවණ ලංකාපුරයේ අධිපතිව සිටිමින් ඉන්දියාවේද කොටසක් පාලනය කල දශරාජපතියකුව සිටි බව රාමායණයෙහිද සඳහන්ව  ඇත.එසේම කුඩා රාවණා කෝට්ටේ,මහා රාවණා කෝට්ටේ,සීතාවක,සීතා එළිය,රාවණා ඇල්ල,රාස්සපාන,රාස්සගල ආදී මෙරට ග්‍රාම්‍ය හා ස්ථාන නාම හා ඒ පිළිබඳ ගෙතුණු ජනප්‍රවාද පිළිබඳ විමසන්නකු හට මෙරට විසූ ප්‍රබල ජන කොටස් හා එකී ප්‍රජාව තුල පැවති වෛද්‍ය ක්‍රම පිළිබඳව අදහසක් ගොඩ නඟා ගැනීම අසීරු නොවේ.

            ඉන් යක්ෂ ගෝත්‍රිකයන් පිළිබඳ සැලකීමේදී රෝග ශමනය පිණිස හිඳු සමාජයේ පවා පිළිගත් "භූත විද්‍යාව " සුලභව යෙදී ඇති බවත් "මන්ත්‍ර විද්‍යාව"එහිලා ප්‍රධාන වී ඇති බවත් පැහැදිලි වේ.(ආයුර්වේද සමීක්ෂාව -දසවන කළඹ ) දුම්මල, දුම, පන්දම, ගින්න , කහදිය, ආදීහු එහිදී ආධාරකයෝ වූහ.අවශේෂය යක්ෂ වෙදකමෙහි එන ඔසු යෝගයන් වන,යක්ෂ කායම,යක්ෂ විරේකය,යක්ෂ භූත තෛලය,යක්ෂ රාජ වටිය හා මානිභද්‍ර  වටිය මඟින් ඉටු කෙරිණි.නාග ගෝත්‍රික වෙදකම තුල ශමනය පිණිස විදුම් හා පිලිස්සුම් ආදිය ප්‍රමුඛ වූ බව ජනප්‍රවාද සහ මෙතෙක් මුද්‍රණය නොවූ පුස්කොළ පොත්වල අඩංගු තොරතුරු අනුව පැහැදිළි වේ.
            ක්‍රි.පූ.6 වන සියවසෙහි සිදු වූ ආර්යාගමනයට සමගාමීව දියුණු ශිෂ්ඨාචාරයක ඇරඹුම සිදු වූ බව නොරහසකි.විජයාගමනයට පසු රජුගේ මෞලි මංගල්‍යයට භරතයෙන් පැමිණි ශිල්ප ශ්‍රේණි දහ අටක ශිල්පීන් සහ කුල දහසක පිරිස මාතොටට ගොඩ බැසීම එකී මඟ ඔස්සේ තබන ලද පළමු යෝධ පියවර විය.


අනතුරුව සිදු වූ භාරතීය ආගමන  කිහිපයකට පසුව රජ පැමිණි පණ්ඩුකාභය රජු විසින් කරවන ලද තිඹිරි ගෙයක් පිළිබඳව ජනප්‍රවාද වල සඳහන්ව ඇත.මහින්දාගමනය හෙවත් හෙල සංස්කෘතියේ  සමඟ මිහිඳු හිමියන් හා සංඝමිත්තා තෙරණිය සමඟ දහ අට කුළය පිරිවර මෙරටට රැගෙන ආ බෞද්ධ දර්ශනය ,උත්තර භාරතීය සභ්‍යත්වය හා තවත් බොහෝ දේ පිළිබඳ අවධානය යොමු කිරීමේදී ධර්මාශෝක රජු විසින් දෙවන පෑතිස් රජු වෙත එවන ලද පුද පඬුරු අතර"ත්‍රිඵලා" ද වූ බව ප්‍රකටය තවද මෙරට කරවූ ප්‍රථම රෝහල ලෙස දෙවන පෑතිස් රජු විසින් මිහින්තලා කඳුපාමුල  කරවූ අංග සම්පූර්ණ රෝහල ඉතිහාසයට එක් වී ඇත. (ආයුර්වේද සමීක්ෂාව -දසවන කළඹ )


දකුණු ඉන්දියාවේ සේන, ගුත්තික, අසේල, එළාරාදීන්ගේ ආක්‍රමණ හේතුවෙන් සංස්කෘතියට හා තත්කාලීන සමාජයට සිදු වූ හානිය සුළු කොට තැකිය නොහැකි වුවද ඒ හා සමගාමීව එකී සේනාවන්ගේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමට යොදාගත් අගස්ති වෛද්‍ය සම්ප්‍රදාය ආශ්‍රිත ක්‍රමවේද  ලාංකීය වෙදකම සඳහා ද ඇතුලත් කර ගැනීමට හැකි වීම විශේෂ අවස්ථාවකි.අනුරාධපුර සහ පොළොන්නරු යුග මෙරට දේශීය වෛද්‍ය ඉතිහාසයේ ස්වරණමය යුගයන් බවට පත් වීමට මෙමගින් ලද දායකතවයද ඉවහල් වූ බව නොරහසකි. තවද පොළොන්නරු යුගයේ බුරුමයට යැවුණු යුධ සේනාවන් අතර යුධ තුවාලකරුවන්ට උපස්ථාන කිරීමට” චරිතවත්” හෙදියන්ද යැවූ බව සඳහන්ය. පණ්ඩුකාභය රජු අනුරාධපුර නගර නිර්මාණයේදී සනීපාරක්ෂාව පිළිබඳ සුවිශේෂී අවදානයක් යොමු කරමින් නගර ශෝධකයන් පන්සියයක් ද, කසල ශෝධකයන් දෙසියයක්ද ,මළ සිරුරු බැහැර කරන්නන් දෙසිය පනහක්ද, සොහොන් පල්ලන් පහලවක්ද පත්කල බවට මහාවංශයේ වන සඳහනට අනුව ස්වස්ථ පරායනයට මෙන්ම ආතුර පරායනයට එනම් ප්‍රථිකාරයට සහ රෝගවලක්වා ගැනීමට ද, ප්‍රජාසෞඛ්‍යාරක්ෂණයට ද එක හා සමාන අවදානය යොමුකර ඇති බව පැහැදිළිය. 

එසේම මහමෙව්නාව පිහිටුවීමෙන් මුටසීව රජු අපේක්ෂා කර ඇත්තේ (ක්‍රි.පූ.307-247 ) නගර වාසීන්ට සැඳෑ සක්මනට හා සාමීචීන් පැවත්වීමට සුදුසු කළාපයක් ඇති කිරීමට බවත් ,ජනතාවගේ මානසික සුවතාවය පාලකයන්ගේ අවදානයට යොමු වියයුත්තක් ලෙස සැලකූ  බවත්  මහා වංශයේ ඒ පිළිබඳ වන සඳහනට අනුව වටහා ගත හැකිය.  
      රෝහල් පිහිටුවා ගිලානෝපස්ථානයට මඟ සැලසූ දුටුගැමුණු රජතුමා තම පාලන සමයේදී එළාර රජු සමඟ කළ විජිත පුර සටනේදී උණු ලෝදියෙන් දැවුණු කඩොල් ඇතුගේ පිටෙහි තෙල් ගල්වා පුළුන් අලවා කල ප්‍රතිකාරය පිළිබඳ සද්ධර්මාලංකාරයෙහි වන වර්ණනාවද සුවිශේෂී වේ. 
         දක්ෂ වෙදදුරෙකු සහ ප්‍රජා පාලකයකු ලෙස ප්‍රකට බුද්ධදාස රජු (ක්‍රි.ව.337-385)"සාරාර්ථ සංග්‍රහය" නමින් සකු බසින්  මෙරට ප්‍රථම වෛද්‍ය ග්‍රන්ථය රචනා කල බව මහා වංශයේ සඳහන්ය.ගමක් පාසා නිදහස් බෙහෙත් ශාලා සහ සූතිකාගාර කරවූ මොහු ජනතාවට මෙන්ම වන සතුනටද ප්‍රථිකාරයට මග සැලසූ අයුරු රජු විසින්ම ආහාර මඟෙහි පණු කැදැල්ලක් සහිතව සිටි භික්ෂුවට කළ ප්‍රතිකාරය, වාත රෝගී භික්ෂුවකට කළ ප්‍රතිකාරය, දරු ගැබ නුහුරට පිහිටි චණ්ඩාල ස්ත්‍රියකට කළ ප්‍රතිකාරය, පීනස් රෝගියකුගේ හිස පලා කළ ශල්‍ය කර්මය හා නාගයකුගේ උදරය පලා කළ බව ප්‍රකට ශල්‍ය කර්මය පිළිබඳව චූල වංශයේ තිස් හත් වන පරිච්ඡේදයේ සඳහන්ව ඇත.

"රජ තෙම ලක්වැස්සන් හට හිත පිණිස ගමක් පාසා වෙදහල් කරවා එහි වෙදුන් නියුක්ත කළේය.එසේම රජ තෙමේ සියළු වෛද්‍ය ශාස්ත්‍රයන්ගේ සාරර්ථයන් හකුළුවා සාරාර්ථ සංග්‍රහය නම් ප්‍රකරණයක් තනා අනාගතයෙහි ලක්දිව පිළියම් පිණිස වෙදුන් කෙරෙහි තැබුයේය.රජතෙමේ ගම් දහයෙක් හි එක එක වෙදෙක් බැගින් යෙදුයේය.කෙත් අයෙන් විස්සෙන් අඩක් වෙදුන්ගේ දිවි වැටුප් කර දුන්නේය.ඇතුන් අසුන්ට හා සේනාවන්ට ද වෙදුන් නියම කළේය." (මහා වංශය )

තවද ස්වකීය වස්ත්‍රයට අමුණන ලද විශේෂ කොපුවක බහා ශල්‍ය උපකරණ කට්ටලයක් යන එන තන්හි රැගෙන ගිය මෙතුමා රෝගීන් සඳහා විශේෂ විශ්‍රාම ශාලා ද ,කොරුන් අන්ධයන් සඳහා විශේෂ නිවාසද ඉදි කළ බව චූල වංශයේ තිස් හත් වන පරිච්ඡෙදයේ වැඩි දුරටත් සඳහන් වේ. 
       ක්‍රි.ව 365 දී රජ පැමිණි උපතිස්ස රජු අඳ,පිළු සූතිකාවන් සඳහා ඔසුහල් පිහිටවූ බව ද, දෙවන උපතිස්ස රජුද ආරෝග්‍ය ශාලා කරවූ  බව ද මහා වංශයේ සඳහන් ය.තව ද දෙවන දප්පුල,පළවන උදය ආදී රජ වරුන්ද ආරෝග්‍ය ශාලා කරවූ බවත් දෙවන දප්පුල රජු එම ආරෝග්‍ය ශාලා නඩත්තුවට ගම්වර දුන් බවත්  එහි වැඩි දුරටත් දක්වා තිබේ.

Tuesday, December 21, 2010

ඉතිහාස කතාවක්!

උපතේ සිට මරණය දක්වා ගෙවන්නා වූ දශක කිහිපය තුල "මානවයා"නම් වූ සුවිශේෂ ජීවියාට ඉටු කිරීමට නියමිතව ඇති යුතුකම් රැසෙකි.ස්වකීය වර්ගයාගේ පැවැත්ම උදෙසාද,ජීවිත ජයග්‍රහණය උදෙසාද එහිලා ස්වකීය කායික මානසික සුවතාවය අතිශය වැදගත් වනුයේ,ඒ සඳහා වූ කාර්යපටිපාටීන් ක්‍රමවත්ව පවත්වාගෙන යාම සඳහා අනුගමනය කල සෞඛ්‍යාරක්ෂණ ක්‍රමෝපායයන් හා ඇවතු පැවතුම් එදා මෙදාතුර විවිධාකාර හා වත්මනෙහි වඩාත් සංකීර්ණ වුවද එහිලා ගැනෙන පරමාර්ථය නොවෙනස්ය.ඒ අනුව යුග දේශ නියමයකින් තොරව සෞඛ්‍යාරක්ෂණය උදෙසා අනුගමනිත ක්‍රමෝපායයන්  විධිමත්ව පැවැත්වූ බවට ලිඛිතමය තොරතුරු,ජනප්‍රවාද,හා කැනීම් ඇසුරින් ලද තහවුරු කිරීමේ සාධක ග්‍රික,මෙසපොතේමියානු,අරාබි හා ඉන්දියානු ආදී ශිෂ්ටාචාර වල විරල නොවේ.ඒ අතුරින් භාරතීය ශිෂ්ටාචාරයෙහි සුපුෂ්පිතව මෙදෙසට හමා ආ ඉන්දියානු වෛද්‍ය ක්‍රමයත් ඒ හා සම්මිශ්‍රිත දේශීය වෛද්‍ය සම්ප්‍රදායත් ඇසුරින් බිහිවූ "ශ්‍රී ලාංකික ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය " සුවිශේෂී වේ.

කතාව මේ විදිහට පටන් ගත්තත් කාටත් හුරු ලීලාවෙන් මේ කතා බහ ගෙන යායුතුයි කියලා හිතන නිසාම මංපොඩ්ඩක් වෙනස් වෙන්න හිතනවා.ඒ නිසාම ,කාටත් දැනගත යුතු ආයුර්වේදයේ රස මුසු තැන් ලියවන්න අරඹපු මේ බ්ලොග් ඉඩ කඩ තුල ඇතුලෙ දන්නා පමණින් ආයුර්වේදය ඔබට සමීප කරවන්නයි වැයම.ආරම්භයක් හැටියට ඉතිහාසයෙන්ම පටන් ගත්තත් ,නොදැනුවත්වම වුණත් අපත් මේ වෙදකමත් අතරෙ මෙතුවක් කලක් මොන තරම් ලොකු බැඳීමක් පැවතිලා තියෙනවද කියන දේ "හඟිස්සවීම" ත් කාලෙත් එක්කම සිද්ද වේවි කියලා බලාපොරොත්තු වෙනවා.තව පියවර කිහිපයක් මේ ඉතිහාසයත් එක්ක තියමු එහෙනම්! :)