Wednesday, June 24, 2015

නහර ගැටගැසීමේ පීඩාවෙන් නිසැක සුවය ලබා දෙන ආයුර්වේද ජලෞකා (කූඩලු ) ප්‍රතිකාරය


      සුවදායී දිවි පැවැත්මක් උදෙසා කැපවී ඇති ආයුර්වේද වෛද්‍ය ක්‍රමයෙහි හමුවන සුවිශේෂී ප්‍රතිකර්ම පද්ධතියක් ලෙස පංචකර්ම චිකිත්සාව හඳුනා ගත හැකිය.ඒ අතරින් රක්ත මෝක්ෂණ චිකිත්සාව වර්තමානයේ සුලභව භාවිතා නොවන, එහෙත් බොහෝ රෝග අවස්ථා සඳහා වඩා පලදායී ලෙස යොදා ගත හැකි ප්‍රතිකාර ක්‍රමයක් වේ.


 සිරුරේ ඇතිවෙන රෝගවලින් කොටසක් රුධිරයේ ඇති දූෂිත බව නිසා ඇති විය හැකි බව ආයුර්වේද මතයයි. අප ගන්නා ආහාර වලින් ලැබෙන පෝෂණීය කොටස් මෙන්ම අහිතකර පදාර්ථ ද රුධිරයට එක්වී  විවිධ රෝග තත්ව ඇති කිරීමට හේතු වේ. එබඳු රෝග සඳහා මෙන්ම  රුධිරය පරිවහනය කරන ශිරා ආශ්‍රිතව ඇතිවන ශිරා ග්‍රන්ථි (නහර ගැට ගැසීම් ) වැනි අවස්ථා වලදී මෙම රක්තමෝක්ෂණ ප්‍රතිකාරය මගින් සාර්ථක ප්‍රතිපල උදාකරගත හැකි වේ.

        "රක්තමෝක්ෂණ" යන්න "රක්ත" සහ "මෝක්ෂණ" එනම් රක්තය මුදා හැරීම යන අරුත් ගැන්වේ.  එය පලදායී රුධිරය පිරිසිදු කිරීමේ ක්‍රමයක් වන අතර කුඩා ප්‍රමාණයන්ගෙන් අපිරිසිදු රුධිරය සිරුරෙන් ඉවත්කිරීම සඳහා ක්‍රම කිහිපයක් ආයුර්වේදයේ හඳුන්වා දී ඇත.දූෂිත පිත් දෝෂය නිසා ඇතිවන රුධිරය ආශ්‍රිත රෝග අවස්ථාවන් සඳහා  මෙම ප්‍රතිකාර ක්‍රමය වඩා සුදුසු වේ.  ඒ අතර, චර්ම රෝග, විවිධ ඉදිමුම් තත්ව, සුව නොවන තුවාල,  නහර ගැට ගැසීම්, විවිධ ආසාත්මිකතා  ආදී සම ආශ්‍රිතව දැක ගත හැකි රෝග අවස්ථා ප්‍රමුඛ වේ. මීට අමතර්‍රව, අර්ශස්, අක්ෂි රෝග, බරවා, දීර්‍රඝ කාලීනව සුව නොවන හිසරදය, දන්ත රෝග සඳහා ද  රක්ත මෝක්ෂණ යෙදිය හැකි වේ.

 රක්ත මෝක්ෂණ ප්‍රධාන ආකාර දෙකකි.  ලෝහමය තියුණු දැති සහිත උපකරණ භාවිතයෙන් සහ කූඩැල්ලන්, විශේෂයෙන් සකස් කළ හරක් අං සහ ලබු කටු යොදා ගනිමින් සිදු කරන රුධිරය ඉවත්කිරීමේ ක්‍රම වශයෙනි.


  
       ආයුර්වේද මූලග්‍රන්ථ සහ ප්‍රායෝගික අත්දැකීම් අනුව මෙම ප්‍රතිකාර ක්‍රමය  රෝග සුව කිරීම මෙන්ම රෝග වලකා ගැනීම යන අවස්ථා දෙක උදෙසාම යොදා ගත හැකි වේ.  

කූඩැල්ලන් (ජලෞකා ) මඟින් සිදු කරන රක්ත මෝක්ෂණයේදී මෙම රුධිරය පිරිපහදු කිරීමේ ක්‍රියාවලිය සඳහා ලොව පුරා විසිරී සිටින කූඩළු ප්‍රභේද හයසියයකට ආසන්න ප්‍රමාණයක් අතරින් ජලයේ ජීවත්වන hirudo medicinalis කූඩලු විශේෂයන් කිහිපයක් පමණක්  යොදා ගැනේ.





     මෙම ප්‍රතිකාරය වේදනාවකින් තොර, ආරක්ෂිත සහ එදිනෙදා කටයුතු සමඟ වුවද පහසුවෙන් සිදුකරගත හැකි ප්‍රතිකාරයක් වේ. මෙහිදී සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සුදුසු කූඩළු ප්‍රභේදය බවට තහවුරු කර ගැනීමෙන් අනතුරුව කූඩැල්ලා විෂහරණ ක්‍රීයාවලියකට ලක් කර ප්‍රතිකාර කටයුතු ආරම්භ කෙරේ. 

     කූඩැල්ලා රුධිරය උරාබීම අවසන් වූ පසු ඖෂධීය ද්‍රව්‍ය චූර්ණයක් යොදා  කූඩැල්ලා විසින් උරාබොන ලද දූෂිත රුධිරය කූඩැල්ලාගේ සිරුරෙන් ඉවත් කිරීම සිදු කරයි.අනතුරුව රෝගියාගේ කූඩැල්ලා රුධිරය උරාබිව් ස්ථානය පිරිසිදුකර ඖෂධ ආලේපනයක් හෝ සුදුසු  ඖෂධීය තෙලක් ගැල්වීම සිදු කරනු ලැබේ.එක් වරකට කූඩැල්ලකුට රුධිරය මිලිලීටර 10ත් 60ත් අතර ප්‍රමාණයක් උරා බීම සිදු කරන අතර එම කාර්යය සඳහා මිනිත්තු 20ත් 60ත් අතර කාලයක් ගත වේ.

 සතියකට වරක් බැගින් වාර හතක්, දාහතරක් හෝ විසි එකක් මෙම ප්‍රතිකාරය සිදු කිරීම සුදුසු වේ.

කූඩළු ප්‍රතිකාරයේ විශේෂත්වය

-කූඩැල්ලා විසින් ඔබේ සිරුරේ ඇති අපිරිසිදු / දූෂිත රුධිරය උරා බී ඉවත් කිරීම.

- රුධිර පරිවහනයට බාධා පවතී නම් (නහර ගැට ගැසීම් වැනි අවස්ථා  වලදී )එය ක්‍රමවත් වීම.

-  දූෂිත රුධිරය නිසා හටගත් සමෙහි ඇති කැසීම්, කළු පැහැ වීම්, මස් පිඬු ආශ්‍රිත වේදනා, හිරිය සමනය වීම.

- රුධිර සැපයුමේ ඇති දුර්වලතා නිසා සුවවීමට ප්‍රමාද තුවාල සුව වීම ඉක්මන් කිරීම.

-සන්ධිගත රෝග අවථාවලදී ඇතිවන ඉදිමුම්, වේදනා, දාහ ආදිය සමනය වීමට උපකාරී වීම.

- පොතු කබර වැනි චර්ම රෝග වලදී අභ්‍යන්තර ප්‍රතිකාර සමඟ රක්ත මෝක්ෂණය යෙදීමෙන් ඉක්මන් සුවය ලබාගත හැකි වීම.


රක්ත මෝක්ෂණය සිදු නොකළ යුතු අවස්ථා:

  • රක්තහීනතාවය
  • සමස්ත සිරුරේම පවතින ශෝථ (ඉදිමුම්) තත්ව
  • ගර්භනීභාවය 
  • රුධිරය කැටිගැසීමේ දුර්වලතා සහිත රෝගීන්
  • හෘද රෝගීන්
  • දියවැඩියා රෝගීන්
  • අධිරුධිරපීඩනයෙන් පෙලෙන රෝගීන්

ප්‍රතිකාර සඳහා යොදා ගන්න කූඩැල්ලා ආරක්ෂා කර ගැනීම


  •   සෙල්සියස් අංශක 15 -20ත් අතර්‍ර උෂ්ණත්වයක,හොඳින් වාතනය සහිත සිසිල් පාරදෘශ්‍ය ජල බඳුනක කූඩැල්ලා රඳවා තැබීම සිදු කළ යුතු අතර එය සූර්යාලෝකයට කෙලින්ම නිරාවරණය වන ස්ථානයක් නොවිය යුතුය.
  • බඳුන සඳහා පිරිසිදු, පැහැදිළි, රසායනික ද්‍රව්‍ය නොයෙදූ භූගත ජලය යොදා ගැනීම වඩා සුදුසු වේ.
  • බඳුනේ ජලය අළුත් කිරීමේදී එහි උෂ්නත්වය පිළිබඳ සැලකිලිමත්වීම අත්‍යාවශ්‍ය වේ.
  • ජලය මිලිලීටර 250ක් ප්‍රමාණයක් රැඳවිය හැකි බඳුනක කූඩැල්ලන් දෙදෙනකුගේ උපරිමයකට යටත් වන සේ  ඉඩකඩ සපයා දිය යුතු අතර එම බඳුනට ඇල්ගී, හෝ ජලජ ශාක කිහිපයක් එක්කර තැබීම වඩා සුදුසු වේ.
  • බඳුනේ පියන සිදුරුකර හෝ පියන වෙනුවට දැල් ආවරණයක් සකසා ගැනීමෙන් වාතනය සහ කූඩැල්ලා බැහැරට නොයා රඳවා ගැනීම යන කරුණු දෙකම ඉටු කරගත හැකි වේ.

වර්තමානයවනවිට ක්‍රමයෙන් ජනප්‍රිය ප්‍රතිකාර ක්‍රමවේදයක් බවට පත්වෙමින් පවතින  මෙම ජලෞකා චිකිත්සාව තුලින් මහඟු ප්‍රතිපල ලබා ගැනීමට සුදුසුකම්ලත් ආයුර්වේද වෛද්‍යවරයකගේ මගපෙන්වීම යටතේ ඔබටත් අවස්ථාව උදා කරගත හැකිය.







No comments:

Post a Comment