Monday, June 27, 2011

පැහැපත් සුවබර සමකට....(පුරුදු විදිහටම ද? )

සම කියන්නෙ අපේ ශරීරයේ වැදගත්ම අවයවයක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ නෙ."බාහිර සම අහ්‍යන්තරයේ කැඩපතය" කියලත් කියන්නේ ඒ නිසාමයි.පැහැපත් ,නිරෝගී සමක් පුද්ගලයෙක්ට ආශිර්වාදයක්.මෙතරම් සම සුරකින්නට ය කියාගත් ආලේපන ,ප්‍රථිකාර ක්‍රම වෙළඳපොලේ පවතින්නත් හේතුව ඒකයි.

සම වයස්ගත වෙන්නෙ අපිත් එක්කමයි.ඒ නිසාම පුද්ගලයෙක්ගෙ තරුණ බාවය තීරණය කරද්දි සම වැදගත් සාධකයක් වෙනවා.සාමාන්‍යයෙන් අපේ සමට බලපැම් ඇති කරන වැදගත්ම සාධකයක් තමයි හිරු එළිය.සමකාසන්න රටක ජිවත් වෙන අපි නිරන්තරව විවෘත සූර්යාලෝකයට නිරාවරණය වෙනවා වැඩියි.ඒ නිසා හැකිතාක් සූර්ය රශ්මියෙන් ආරක්ෂාවෙන්න කටයුතු කිරීම සම පිළිබඳ සැලකීමේදි ඉතා වැදගත්.එමගින් අපිට,සූර්යකිරණවලින් සම වයස්ගතවීමට ඇතිකරන බලපැමෙන් ආරක්ෂා වෙන්න පුළුවන් වගෙම ,සූර්යාලෝකයෙන් ඇතිකරන පිලිස්සුම් ආකාර ලප ඇතිවීම වලක්වාගන්නත් පුළුවන්.අපේ රටේ අහන්න දකින්න අඩු වුණත් සූර්යාලෝකයට අනවශ්‍ය ලෙස නිරාවරණය වීම පිළිකා ඇතිවීමට හේතු වෙන බව දැන් තහවුරු කරගෙන තියෙනවා.හරිම සරලයි වගෙ පෙනුනත් මේක ටිකක් වැදගත් කාරණාවක් වෙනවා රූප සොබාව ගැන හිතද්දි.

  අනිත් කාරණාව තමයි වතුර.සමේ තෙතමනය හා සිසිල්බව එහි නිරෝගීකමට ඉතාම තදින් බලපානවා.මේ සඳහා නිෂ්පාදිත ආලේපන වර්ග හෝ ස්වභාවිකවම ගස්ලබු ,අලිපේර,පිපිඤ්ඤා වගෙ ආලේපන යොදාගන්න පුළුවන් වුනත් අපි කාටත් මග හැරුණ පහසුම ක්‍රමය තමයි දිනපතා ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වතුර පානය කිරීම.කවුරුත් දන්නවනෙ අපේ පරිවෘත්තිය ක්‍රියා වලදී අපි පානයෙන් ලබාගන්න ගන්න ජලයෙන් විශාල ප්‍රමානයක් අපට අහිමි වෙනවා.ඉතින් ආහර පාන වලින් අපි නැවත ඒවා ලබාගතයුතු වෙනවා.සාමාන්‍යයෙන් ආසන්න වශයෙන් ලීටර් එකහමාරක් විතර ජලප්‍රමාණයක් අපි දිනකට මුත්‍රා හැටියට පිට කරනවා.තවත් ලීටරයක් පමණ ස්වසනයේදි,දහඩිය සහ වෙනත් ශාරීරික චලන වලදී පිට වෙනවා.ඒ හින්දා පිරිමි පුද්ගලයෙක් නම් දිනකට වතුර ලීටර් තුනක් පමණවත් සහ කාන්තාවක් නම් ලීටර් දෙකයිදශම පහක්වත් පානය කරන එක සමේ කළ‍‍‍‍ණයට විතරක් නෙවෙයි ජීවිත කාලයේම නිරෝගී බවට වැදගත්.මීට අමතරව තමන්ගෙ සමේ ස්වාභාවය අනුව යොදන්න පුළුවන්, නිවසේදීම හදාගන්න පුළුවන් ,සමේ තෙතමනය රකින පහසු ආයුර්වේද ප්‍රථිකාරකත් තියෙනවා.

අනිත් කාරණාව තමයි දුම්පානය.තමන් දුම් පානය කරනවා වගෙම දුම් පානය කරන්නන් අසල ගැවසීමත් අනික් සෞඛ්‍ය ගැටලුවලට වගේම සම අකලට මහළු වෙන්න බලපානවා.එහි අඩංගු නිකොටින් සහ අනෙකුත් රසායනික ඔබේ සම මත සෛල වල ඔක්සිජන් සැපයුමට බාධා ඇති කිරීමත්,මියගිය සෛල වෙනුවට නව සෛල වැඩීමට බාධා ඇති කිරීමත් සිද්ධ කරනවා.ඒ නිසාම සම පහසුවෙන් අඳුරු පැහැ‍යට හැරී අකලට වයස්ගත වීම ඇති වෙනවා.

     මග තොට යන එන කොට දූවිල්ලට දුමට නිරාවරණය වීම සාමාන්‍යයි.එහෙම රැඳෙන අපද්‍රව්‍ය නිසි ආකරයට පිරිසිදු කරලා ඉවත් නොකිරීමත් සම අකළට මහළු වෙන්න හේතු වෙනවා.සුදුසු ආලේපනයක්(ස්වභාවික හෝ නිෂ්පාදිත )පාවිච්චි කරලා මේ කටයුත්ත පහසුවෙන් කරගන්න ගත වෙන්නෙ මිනිත්තු කිහිපයක් විතරයි.හැබැයි තමන්ගෙ සමට ඒ ආලේපන සුදුසුද කියන එක අවබෝධයෙන් තීරණය කරන්න ඕන කාරණාවක්.

සම මතුපිට රුධිර සැපයුම ක්‍රමවත් නොවුනාමත් සම මහළුවීම ඉක්මන් වෙනවා.මෘදු සම්බාහනයක් මගින් අපට සමේ රුධිර සැපයුම උත්තේජනය කරන්න පුලුවන්.අධික උණුසුම වගේ අධික සීතලත් සමට ඉතාම අහිතකරයි.සමහර වෙලාවට අපි භාවිත කරන රූපලාවන්‍ය ආලේපන,උපකරණ,අධික ලෙස නිදි වැරීම,රැකියාවේ ස්වභාවය,ආහාර රටාව මෙකී නොකී බොහෝ දේවල් සමේ නිරොගීබවට අපි නොහිතන බලපැම් ඇති කරන්න පුළුවන් .

හිතන පතන රටාවත් සමේ සුව පහසුවට ඉතා වැදගත්.ඒ ඒ කාලයට ඇතිවන සිතිවිලි හා මානසික තත්වය අනුව සමෙහි තෙතමනයවෙනස් වීම,තෙල් සහිත බවක් ඇති වීම ,කුරුලැ සහ ලප කැළැල් ඇති වීම සිදු වෙන්න පුළුවන්.

මේ සියල්ලත් එක්කම පෝෂණයත් ඉතාම වැදගත් බව අමතක කරන්න හොඳ නැහැ.


 ආයුර්වේදයේ රසායන සහ වාජීකරණ ගැන සඳහන් වෙන කොටසේ අකලට මහළුවීම වලක්වාගන්න පුලුවන් සාර්ථක නමුත් කැපවීමෙන් සිදු කලයුතු,ආහාර,ඖෂධ සහ ඇවතුම් පැවතුම් රටා ගැන පැහැදිලි විවරණ‍යක් ලබා දීල තියෙනවා.ඊට අමතරව සම්බාහනය පිළිබඳ සඳහන් කිරීමේදි මුහුණේ පිහිටි සුවිශේෂී මර්මස්ථාන පිළිබඳවත්,ශ්වසන අභ්‍යාස පිළිබඳවත්, වර්තමානයේ භාවිතවෙන , hydrotherapy, සහ aromatherapy පිළිබඳවත් ආයුර්වේදයේ සඳහන් වෙන්නෙ සම පිළිබඳව ස්ථර වශයෙන් පැහැදිළිව ව්‍යවච්ඡේදනය කිරීමක්ද සහිතවමයි.ඒ වගෙම පුද්ගලයාගේ සමේ ස්වභාවය අනුව වර්ගීකරණයකට ලක් කිරීමක්ද පැහැදිලිව හඳුනා ගන්නට ලැබෙනවා.ඒ ඒ පුද්ගලයාට ප්‍රතිකාර නියම කර තිබෙන්නේ ඉන් පසුවයි.සමට වර්ණය ලබා දෙන භ්‍රාජක පිතෙහි විකෘතිතා ඇතිවන අන්දම සහ ඒවාට ප්‍රථිකර්ම යොදන ආකරය සරලව හා නිරවුල්ව දක්වා තිබෙනවා.ඒ ප්‍රතිකර්ම ක්‍රම තුල සම්බාහන,ධාරා කර්ම,අභ්‍යංග ක්‍රම සහ ලේප යෙදීම් ආදීයත් ,අභ්‍යන්තර ප්‍රතීකාරත්,යෝග ව්‍යායාම් ආදියත් ඇතුලත්.

මෙහිදී අවධානයට යොමු නොවුණු සුවිශෙෂ කලාපයක් තියෙනවා.ඒ තමයි ච‍්රම රෝග.මෙතනදී බලාපොරොත්තු වුනේ සම නිරෝගීව පවත්වාගෙන යාම සිදු කරන්නෙ කොහොමද කියන කාරණාව පමණක් නිසා.

 ආයුර්වේදය විශිෂ්ඨ දර්ශනයක්.වෛද්‍ය ක්‍රමයක්.ප්‍රතිකාරයට සේම රෝග වලක්වා ගැනීමට මූලිකත්වය සමබරව ලබාදෙන.ඉතින් යහපත් , නිරෝගී දිවිපැවත්මක් සමඟ රුවැති සමක් ලබා ගැනීමට සිතීම ඔබ තවදුරටත් පමා කරනවාද ? :)








              

No comments:

Post a Comment