Thursday, June 14, 2012

මහළු විය පමා කරන ආයුර්වේද රසායන තන්ත්‍රය



මහළුවීමත් සමඟ හටගන්නා කායික මානසික දුබලතා නිසාම අද මහළු විය පමාකරගැනීමට බොහෝ දෙනා උත්සහ දරති.

රසායනය නැතිනම් රසායන තන්ත්‍රය යනු අදට වසර 3000කට පමණ පෙරදී බිහිවූ අෂ්ටාංග එනම් අග අටකින් යුත් ආයුර්වේදයේ එක් අංශයකි.ආයුර්වේදයේ අරමුණු දෙකකි.නිරෝගී භාවය සුරක්ෂිත කිරීම සහ රෝගී බවෙන් මුදාගැනීම එම අරමුණු දෙක වන අතර රසායන තන්ත්‍රය වැදගත් වන්නේ නිරෝගීබාවය සුරක්ෂිත කිරීම සඳහා ය.

මහළුවීම රෝගයක්දැයි විමසුවොත් ;එක්තරා ආකාරයකින් කායික ,මානසික මෙන්ම සමාජයීය ගැටළු ඇති කරන නිසා මහළු වීම එක්තරා ආකාරයක රෝගයක් ලෙස සැලකිය හැකි ය.නමුත් එය සුවකළ නොහැකි ය.එනම් ජීවත්වන කිසිවෙකුත් අමරණීය නොවන්නේය.ආයුර්වේද මූල ග්‍රන්ථයක් වන සුශ්‍රැත සංහිතාවේ 29 වැනි අධ්‍යායෙහි සඳහන්ව ඇති ස්වභාවික රෝග පහකි.

1.ක්ෂුදා(බඩගින්න )
2.පිපාසා(තිබහ )
3.නිද්‍රා(නිදිමත )
4.ජරා( මහළු වීම )
5.මරණ (මරණය )

යන එම රෝගයෝ ඉපදුණු සෑම ස්ත්‍රියකටම,පුරුෂයකුටම හටගන්නා වූ ස්වභාවික රෝගයන් වේ.ආහාර ගැනීමෙන් බඩගින්නද,ජල පානයෙන් පිපාසයද,නිදා ගැනීමෙන් නිදිමතද,සංසිඳුවා ගත හැකි නමුත් මහළුවීම තුලින් මරණයට ළඟා වීම වැලැක්වීම අභියෝහයකි.

මේ සඳහා සාර්ථක පිළිතුරු සපයා දීර්ඝ ආයුෂ ලබා දෙන විශේෂිත අංශයක් වන්නේ රසායන තන්ත්‍රයයි.අතීතයේ දී රාජ අමාත්‍යවරුන්ද , බිසෝවරුද, දින චර්යාවක් ලෙස රසායන ඖෂධ සහ ප්‍රතිකාර භාවිත කරන ලද්දේද මේ නිසාමය.රූමත් වූද,මානසික කායික ජවය සපිරි තාරුණ්‍යය බෝකල් වින්දනය කරමින් දීර්ඝායුෂ ලැබීමට හැකි බව ලබා දෙන නිසා රසායන තන්ත්‍රය සුවිශේෂී වේ.

රසායන ඖෂධ යනු මොනවාදැයි යම් අවබෝධයක් මේ වන විටත් ඔබ සතුව ඇත.එම රසායන ඖෂධ මඟින් පහත ප්‍රථිපල ලබා දෙන බව ආයුර්වේද මූල ග්‍රන්ථයන්හි සඳහන් වේ.

*දීර්ඝායුෂ
*මතකය බුද්ධිය
*නිරෝගීබව
*තාරුණ්‍යය
*පැහැපත් සම
*වර්ණය
*මිහිරි කටහඬ
*දේහ බලය
*හඬෙහි පැහැදිලි බව
*ආකර්ෂණශීලී පෙනුමක් ලබාදීම වශයෙනි.

මහළු වියට එළඹීමත් සමඟ අපගේ ආයුෂය අල්ප වී යයි.මතකය දුර්වල වේ.නිතර නිතර වල රෝග තත්වයන්ට අප ගොදුරු වේ.තාරුණ්‍යය වැලලී ගොස් සමෙහි වර්ණය ,පැහැපත්බව සහ ආකර්ෂණය ද වියැකී යයි.කට හඬ ද දුබලවේ.මහළුවියට පත්වන්නේ මෙසේ යැයි නියත ලෙසටම පැහැදිළි කළ හැකි නියමයක් මෙතෙක් බිහිවී ද නැත.ඒ පිළිබඳ වූ එක් මතයකට අනුව මහළු බව ඇති වනුයේ අපගේ ශරීරයේ ජීව ක්‍රියාවලින් නිපදවන "අපද්‍රව්‍ය" කොටස් දේහ සෛල වළ කාලාන්තරයක් රැස් වීමෙන් සෛල මිය යාම සහ දුබල බවට පත් වීම නිසා මහළු බවට පත්වීම සිදු වෙතැයි විශ්වාස කෙරේ.

ඒ අනුව බලන කලද මහළු බව පමා කරගැනීම සහ,අකලට මහළු වීම පමා කර ගැනීමට සුදුසුම ක්‍රමවේදය ආයුර්වේද රසායන තන්ත්‍රයයි.ඒ මන්ද යන වග රසායනය පිළිබඳ වූ ආයුර්වේද නිර්වචනයට අනුව වටහා ගත හැකිය.

"රසායන " යන පදය තැනී ඇත්තේ "රස"සහ "අයන"යන කොටස් දෙකිනි.එයින් "රස" යනුවෙන් පෝෂණ‍ය යන්නත් "අයන" යන්නෙන් නිවැරදි ලෙසට ලබා ගැනීම යන්නත් ගම්‍ය වේ.ශරීරයට අභ්‍යන්තර සහ බාහිර යන දෙ ආකාරයෙන්ම "නිවැරදි"ලෙසට පෝෂණය ලැබේ නම් තාරුණ්‍යය දිගු කලක් ක්‍රමවත්ව පවත්වාගෙන යාම අපහසු නොවේ.ජලය ගලායන නලයක් වුව නිසි කල පිරිසිදු කිරීම අත්‍යාවශ්‍යවේ.එසේ නොවීමෙන් එහි ජල ගමනාගමනය අවිධිමත් වේ.ගැටළු ඇති කරයි.නිරන්තරව විවිධාකාර ද්‍රව්‍ය සංසරණය වන අපේ ශරීරයද එසේමය.ශරීරයෙහි විවිධ ස්‍රෝතස්(වාහිනී ) පිරිසිදු කර රැස්ව ඇති අපද්‍රව්‍ය ඉවත් කර ක්‍රමවත් ලෙස පෝෂණය සියළු සෛල වෙත ලබා දීම රසායන ඔසු මගින් සිදු වේ.
 

No comments:

Post a Comment